Wednesday, August 8, 2012

අමතක නොවන අද වැනි දිනක්...!


කලකින් ලියවුණා අද කවියක්
නුඹ නොදුටු ම සිත නිසාවෙන්
සඟවන්නට හදන හැඟුමන්
එබිකම් කරනවා හද පත්ලෙන්



               සිතුවිලි පටලවමින් කල සිත්තමක්
               පෙන්නුවේ මා නුඹහට ආසාවෙන්
               සිනාවුනා නුඹ දැක එක කවි පදයක්
               එපාවුනා මට මේ කවි හැඟුමන්


පුංචි දේටත් දැනෙන දුකක්
ගේනවා නෙත් කොනට කඳුලක්
නමුදු නුඹේ දඟකාර සිනාවක්
නැති කරනවා ඒ සැම කඳුලක්


           
                අමතක නොවන අද වැනි දිනක්
                ගෙනාවේ ම සිතට නුඹ සතුටින්
                බලාහිඳින්නද මා තව කල්පයක්
                ලැබෙනතුරු නුඹගෙන් තිළිණයන්



♥♥....................♥♥


Tuesday, July 31, 2012

කතාවක් වගේ කතාවක්...!

              ඔන්න අද නම් මම ටිකක් වෙනස් පැත්තකට පැන්නා.හැමදාම මම අඬනවා කියලා ගොඩක් කට්ටිය අහිංසක මගේ සිතුවිලි වල‍ට චෝදනා කරනවානේ.හැබැයි ඉතින් මම නම් සැලෙයි ඔව්වට.(හේ..හේ..)ඒ වුනාට මම අද පොඩි කතාවක් කියන්නම් අහන්ඉන්නකෝ.නෑ නෑ වැරදුනා බලන්ඉන්නකෝ...මෙන්න මේකයි පොඩි සිද්දියක්.පොඩි කිව්වට පොඩිද මන්දා.හරි හරි බලන්නකෝ.බැරිවුනත් අමාරුවෙන් හරි බලන්නකෝ.(හේ..හේ..)

           ඔන්න එක දවසක් අපේ ඔෆිස් එකේ පොඩි සිද්දියක් වුනා.අපි ඉතින් කරන්නේ ග්‍රැප්ෆික් වැඩකිඩ තමයි.ඉතින් මම මේ කියන්න යන දවසේත් අපි සුපුරුදු පරිදි වැඩ කර කර තමයි හිටියේ.(වැඩ අස්සේ පිස්සු නටන එකත් අපේ එක රාජකාරියක් තමයි.මොකද ඉතින් ටිකක් දැඟලුවේ නැත්නම් අපිට උණ වගේනේ.:D ඒ වුනාට අපි ඉතින් හරි හොද ළමයි.) ඔන්න ඉතින් වෙනදා වගේම කස්ටමස්ලා එක්කෙනා දෙන්නා ඉතින් එනවා හෝ ගාලා එයාලගේ වැඩ ටික කර ගන්න.අපිටත් ඉතින් කාගෙවත් වෙනසක් පෙනුනේ එහෙම නැති නිසා සුපුරුදු පරිදි වැඩ කරගෙන ගියා.

             හැමදාම උදේට බැංකුවට සල්ලි දාන්න අපේ බොස් පුරුදු වෙලා ඉන්නවා.ඒකට ඉතින් වෙනම ළමයෙකුත් අරගෙන තමයි ඉන්නේ.හැබැයි මම ඔන්න ඔය කියන දවසේ ඒ ළමයට අසනීප වෙලාද වෙන මොනවා හරි වෙලාද මන්දා ඔෆිස් ආවේ නම් නැහැ.හපොයි දැන් ඉතින් ඉවරනේ....කවුද දැන් බැංකු යන්නේ....ඔන්න ඉතින් ප්‍රශ්නේ..? කොහොම හරි බැංකු යවන්න කියලා කෙනෙක් නම් ඔෆිස් එකේ හිටියේ නැහැ.ඒක නිසා එදා අපේ බොස් සල්ලි බැන්ක් එකට දාන වැඩේ පහුවදාට කල්දාලා එයත් සුපුරුදු පරිදි එයාගේ වැඩවලට එළියට ගියා.අවසානෙට ඉතින් වැඩ කරන අපි තමයි ඉතුරුවුනේ.

               හරි හරි නිදිකිරා වැටෙන්න එපා දැන් තමයි හොදම හරිය පටන් ගන්නේ.අහල පහල තියන වතුර ටිකක් අරගෙන මුණ ටිකක් තෙමා ගන්නකෝ ඔය නිදිමද ගතිය යන්න.:D හරි එහෙනම් ඇස් ගෙඩි දෙක එළියට දාගෙන දැන් බලන්නකෝ ඉතුරුටික.(හේ..හේ..) ඔන්න ඉතින් දැන් මං ගාව ඉන්නවා කස්ටර්ම කෙනෙක්.අම්මෝ...මේන් මෙන්න විතර ඇති.අලිපත කළුම කළු බඩ මහත මෑන් කෙනෙක්.දැක්කාම උණ ගැණුනා මට නම්....ඒ තරමට බයංකර, බියකරු ඔය මොන මොනාදෝ පෙනුමක් තිබුනේ.:D 

               
                    හලි හලි පොඩ්ඩනේ ට්‍රැක් පැන්නේ ඕකට ඉතින් අපේ නෑ සනුහරේ මතක් කරන්න ඕනේ නෑ....හරි බලන්නකෝ.....ඔන්න ඉතින් දන්න ශිල්ප ඔක්කොම දාලා මම ආර්ට් වර්ක් එක හදලා ඉවර කලා.මේ මනුස්සයත් අනිත් කස්ටර්මලා වගේම කිසිම වෙනසක් නැතිව අරෙහෙමයි මෙහෙමයි කියලා ආර්ට් වර්ක් එක ඕකේ කරලා ටිකක් ඉන්න කියලා පැත්තකට ගිහින් ෆෝන් එකෙන් මොන මොනවදෝ කා එක්කද කියවනවා.මෙයා ලෑස්ති වෙන්නේ ආයෙත් යන්නේ නැතිව මාව කන්න තමයි කියලා මට හිතුන නිසා බොහොම වීනිතව හිතින් මෙයාගේ ඥාතීන්ව මතක් කර කර මම හිටියා.ඇයි ඉතින් ආපු වැඩේ කරගෙන අහිංසක මට ටිකක් නිවිහැනහිල්ලේ බ්ලොග් එකක්වත් කියවන්න දුන්නා නම් මේ මනුස්සයට පවු සිද්ධවෙනවද මම අහන්නේ..?හරි හරි ඉතින් ඔයාලත් මට රවන්න එපා.:D 

                 ඔන්න ඉතින් ටික වෙලාවකින්.....................(අනේ පොඩ්ඩක් ඉන්න මම හුස්මගන්නකම්.හ්ම්...මතක්වෙද්දිත් මට ක්ලාන්තයි වගේ.) ආවා ඒ මනුස්සයටම දෙවෙනි නැති තවත් එක්කෙනෙක්.හපොයි දැක්කමත් බය හිතෙනවා.ඔන්න ඉතින් ඒ ආපු මනුස්සයයි අර හිටපු මනුස්සයයි පෙන්නුවේ නැතැ අපිට උල්ම උල් පිහිද  මොනාද මන්දා....හරි හරි බයවෙන්නේ නැතිව හුස්ම ගන්න.මොකද මට ඉස්පිරිතාලේ එන්න බෑ ඔයාලව බැහැ දකින්න.‍(හේ..හේ..) ඔන්න ඉතින් ඊට පස්සේ අපේ අත් පුටුවලට තියලා ගැට ගහලා, කටවල් බැදලා අර ගත්තේ නැතැ අර සල්ලි ටික.හම්මේ..........මම නම් හිටියේ දැන් මැරෙයි දැන් මැරෙයි වගේ.ඇයි අප්පා බයවෙන්නේ නැද්ද..?මම හිතන්නේ ඒ මිනිස්සු අපේ බොස්ටත් වැඩිය හොදට සල්ලි තියපු තැන දැනගෙන හිටියා.කොහොම හරි ඒ මිනිස්සු සල්ලිත් අරගෙන අපිට අලි සද්දෙකුත් දා ගෙන යන්න ගියා.මම නම් දැන් එකම ඇඩිල්ලයි කට බැන්දත්.මොකද මගේ කට බැන්දට අඩන එක නම් මම සුපර් එකටම කරනවා.:D අඩුම තරමින් සල්ලි ටික අරගෙන අපිව මනුස්සකමටවත් මම අහන්නේ ලෙහලා දාලා ගියා නම් නැද්ද..?ඔන්න ඉතින් කොහොම හරි මම දැන් ගිරියටියෙන්ද යටිගිරියෙන්ද කෑ ගගහ අඩනවා.මම ඉතින් අඩන්න දන්නෙත් නෑනේ වැඩිය.:D 

                    
                        ඔන්න එකපාරට වැදුනේ නැතැ ඩෝන් ගාලා පිට හරහා හොද පාරක්......අනේ ඉතින් හැම කතාවක වගේම අවසානේ බලා ගන්න කලින් පැන්නේ නැතැ දුෂ්ඨයෙක්.අපරාදේ මගේ ලස්සන හීනේ..............................

ඔන්න ඉතින් මේ කතාවේ (හීනයේ)අවසානය තමයි නින්දෙන් විලාප දීම නිසා මව්තුමියගෙන් පැණි බේරෙන්න  අත්පහරක් කෑම.......:D

                    ඔන්න ඔන්න දැන් මාව කන්න වගේ බලන් ඉන්නේ නැතිව මොනවා හරි කියන්න ඉතින් මේ ලස්සන හීනේ ගැන.(හේ..හේ..)හැබැයි ඔන්න ඉතින් මේ හීනේ දැක්කේ මම නම් නෙමෙයි.මොකද මට සාමාන්‍යයෙන් නින්ද ගියාම හීන පේන්නේ නැහැ.ඇහැරිලා ඉන්න වෙලාවට තමයි මම ඒකත් බලන්නේ.(හේ..හේ..) හලි හලි මේ ටිකත් බලලම යන්නකෝ.

                    ඔන්න මේ සුන්දර,ලස්සන හරි ඔය මොකක් හරි හීනේ දැක්කේ මගේ ආදරණිය අක්කි යාලු තමයි.එයා ඉතින් මටත් වඩා හොදට හැඬවැඩ දාලා මට හීනේ රඟ දැක්කුවා.ඉතින් ඒ නිසයි මටත් ඒක හැ‍වැඩ දාලා ලියන්න පුළුවන් වුනේ.හැබැයි මට දැන් මගේ අක්කියාගේ නම නම් කියන්න බෑ.දන්න අයත් නොදන්නා ගානට ඉන්නා මෙන් බොහොම කරුණාවෙන් ඉල්ලනවා.මොකද එහෙම නැත්තම් මට ගුටිකන්න වෙන්නේ ප්‍රසිද්ධියෙම තමයි.ඔය ඉදලා හිටලා ගුටියක් දුන්නට මගේ අක්කියා මට හරි ආදරෙයි.අක්කි ගෙදර ගිහිල්ලා හීනෙනුත් මාව දකිනවා කියන එකෙන්ම ඒක ඔයාලටත් හිතාගන්න පුළුවන්නේ දැන්....(ඔන්න දැන් මේක කියවන ගමන් පොඩ්ඩක්වත් එයා මට රවන්නේ නෑ)කොහොමවුනත් ආයේ මතක ඇති කාලේක මට ලස්සන හීනයක් නම් රසවිදින්න වෙන්නේ නැතිවෙයි.මොකද හීන පේන්නේ නැති අසරණ ම‍ට මගේ අක්කියා අයෙත් හීන කියයි කියලා ඔයලා හිතනවද..?කොහොමටවත්ම නෑ.... 

       ඔන්න කලේ ගෙවාගෙන හීනේ බලන්න ආපු ඔයාලට මගේ ප්‍රණාමය..!!‍(හේ..හේ..)



............෴ ..........





                   මේ කතාව ලියලා Draft එකෙත් තියන් ඉදලා ගොඩක් දවසකට පස්සේ හදිස්සියෙම අද publish කරන්නේ මගේ අක්කියාගේ ආසාව නිසාමයි.හිනාවෙවි මේක ලියද්දි නම් හිනෙකින්වත් හිතුවේ නෑ අද වගේ දවසක දාන්න වෙයි කියලා.මොනවා වුනත් හැමදාටම ඔයා මගේ අක්කියා.මේ ඔයාට ඔයාගේ හීනේ මගේ (සිහින සිත්තම්) අක්කියෝ....

 

Thursday, July 26, 2012

නුඹත් ඒ අහස වැනිය...!

තරු ගොන්නක් පිරිවරාගෙන
සඳ එළියත් නතු කරගෙන
මහ අඩම්භරයකින් සිටින
ඒ අහස රජකුමාරයෙක් වැනිය


දහවල් හිරුට අයිතිය කියන
වළාකුළු වලින් හැඩවී සිටින
රුව මහ තේජසකින් පිරුන
ඒ අහස සිංහයෙක් වැනිය


සුළඟ දසඅත නහවගෙන
මහ සද්දෙන් ගොරවගෙන
වැස්සෙන් පොළවම තෙමන
ඒ අහස කුණාටුවක් වැනිය


ජීවිතයම ආදරෙන් පුරෝන
හැම මොහොතෙම මා හිනස්සන
හඬා වැටෙන ම සිත නලවන
අනේ නුඹත් ඒ අහස වැනිය



   
♥♥....................♥♥

Monday, July 23, 2012

සත්තයි...!!


මේ ගල් බැම්ම උඩටවෙලා
හැමදාමත් ආදරෙන් හිඳින්න
හිරුබසින සොඳුරු සැදෑවක
ඔය උණුහුමට තුරුල්වෙන්න
                        සත්තයි ආසයි - මහ හුඟක්

                                
              ඔයාගේ අතින් අල්ලගෙන
              මේ පාර දිගේ ඇවිද යන්න
              ඔයා ලඟින්ම හිදගෙන
              ඔය ඇස් දිහා බලන් ඉන්න
                        සත්තයි පතනවා - මම හැමදාමත්

 
ඔයාගේ හීන වලට ඇවිත්
ඒවගේ දකම් කරන්න
ගෙවෙන හැම මොහොතකම
ඔයා ලඟින්ම දැවටෙන්න
                      සත්තයි ආසයි - මහමෙරක් තරම්

                                 
                මේ මුළු ජීවිතයම
                ඔය පා මුල ගෙවන්න
                පතන හැම පැතුමකම
                ඔය ආදරයම යදින්න
                      සත්තයි ආදරෙයි - ජීවිතේ තියනකම්


 ♥♥............♥♥

Wednesday, July 18, 2012

එපා එපා මේ ජීවිතය...!


හිරු බසිනා සොඳුරු සැදෑවක
මුහුදු වෙරළේ අපේ මතකය
ගසාගෙන ගියේ දිය රැල්ලක
පෙන්වමින් අපේ අවසානය


දෑගිලි පටලවා සිටි යුවලක්
දුටුව නිසා ආදරෙන් සිටිය
කලකට පසු සිත කොනක
අවදිවුනා ආයෙත් මතකය


එදා අප හිඳගෙන මේ ගලක
පෙම්බස් දෙඩෙව්වා මිහිරිය
නමුදු මා තනිව මුහුදු වෙරළක
කදුළු සලනවා දැන් අමිහිරිය


සමහරු කියයි මානසික ආතතියක
පෙලෙනවළු දැන් මගේ ජීවිතය
එය ඇත්තක්ම බව මට විටක
සිතෙනවා දුටුවිට මගෙම රූපය


අනේ නොපෙනේ මරණයවත් ලඟක
එයටවත් පිනක් මට තව නොමැතිය
දැනෙනවා දැන් මට හැම සිතුවිල්ලක
තවනම් එපා එපා කියා මේ ජීවිතය
  
 ♥♥............♥♥ 

 

Saturday, July 14, 2012

දැනෙනවද ඔයාට..??

                        
                 මේ පොද වැස්සේ තෙමි තෙමි ජිවිතේ සැහැල්ලු කර ගන්න මම ගොඩක් වෙලාවට උත්සහ කරනවා.එක මොහොතකට එක තප්පරේකට හැමදේකින්ම මිදිලා අලුත් වෙන්න මම දැන් ගොඩක් ආසයි.එත් දන්නවද..? අද මට කරන්න බැරිව ලතවෙන එකම දේත් ඒකම විතරයි.මේ බැඳීම් වලින් සිතුවිලි වලින් එහාට ගිහින් ජිවත් වෙන්න මට හුඟක් ආසයි.ඉස්සර වගේ සැහැල්ලුවෙන් ඉන්න ආසයි.ගෙවුන ඒ අතීතය හිතෙන් එළියට ඇදලා දලා අනාගතේ දිහා බලන්න ආසයි.ඔව්., ඇත්තමයි මේ හැම ‍දේකින්ම ඈත් වෙන්න ඕනේ.හැබැයි ඒ ඔයත් එක්ක තියන තරහකට නෙවෙයි.ඔයාට ආදරේ නැති නිසත් නෙමෙයි.මට මේ ජිවිතේ තවත් විඳවන්න බැරි නිසයි.දන්නවද..? අඬලා අඬලා දැන් මේ ඇස්වල කදුළුත් නැති තරම්.ඒ තරමටම මම අඬලා අඬලා හෙම්බත් වෙලා ඉන්නේ.මට තවත් මේ විදිහට ජිවත් වෙන්න නම් බැහැ.ඒත් මම මොකද කරන්නේ..?ඔයා තරමටම ඔයා මට දීපු මේ ආදරෙත් හුඟක් මුරණ්ඩුයි.කොච්චර කන්නලව් කලත් මේ හිතින් ඔයාගේ ආදරේ දශමයක් තරමටවත් අඩුවෙන්නේ නැහැ.මේ ආදරේ මතක මට ඔයාව අමතක කරන්න දෙන්නේ නැහැ.

                   හැම දුකක්ම මම ඉතිරි කරගෙන ඔයාට සතුට දුන්නා.ඒ ම‍ගේ ජිවිතේ ඔයා නිසා.ඒත් දැන් මේ පුංචි හිතට ඒ දුක බර වැඩි.ඔව්., මහ හුගක් බර වැඩියි.ඒත් මම ගොඩක් අසරණයි.ඔයා මාව තනි කලාට මේ දුක, මේ මතක මාව තනි කරලා දාන්නෙම නැහැ.හැම මොහොතකම මගේ පස්සෙන්ම වැටිගෙන මම යන හැම තැනකටම එනවා.ලෝකෙට පේන්න හිනාවෙන, කතාකරන මම මේ හිතින් අඬන තරම ඔයා දන්නේ නැහැ.සමහර පුංචි පුංචි දේවල් නිසා ඔයාව මතක් වෙද්දි මට මාවම එපා වෙනවා.ඒ වෙලාවට හැමදේකටම සමුදීලා මේ ජිවිතයෙන් යන්න හිතෙන වාර අනන්තයි.ඒත් ඒ තරම් හයියක් මේ පුංචි හිතට නැහැ.ඒ නිසා අමාරුවෙන්වුනත් හැමදෙයක්ම දරාගන්නවා.මොකද දරාගන්න හිතන්නවත් බැරි දෙයක් මම ඔයාගේ සතුට වෙනුවෙන් දරා ගත්තා.ඒ ඔයාව සදහටම වෙන පුදසුනකට පුජා කරලා.ඔව්., මගේ ආදර මල වෙන පුදසුනකට මම පුජා කරලා.ඒ තරම් දෙයක් දරා ගත්ත මට මේ දේවල් මොනවද..? මෙහෙම හිතලා තමයි මං මාව පාලනය කරගන්නේ.

                         ආයේ මේ ජිවිතේ කවමදාවත් ඔයා ලඟට වෙලා ඔය ආදරේ ලබන්න මට වාසනාවක් නැති බව මම හොදටම දන්නවා.වචනෙකින්වත් ඔය නම කියන්න තරම්වත් මට අයිතියක් නැති බවත් මම හොදහැටි දන්නවා.ඔයාව අසරණ නොකර ඔයාගෙන් ඈතට ගියේ කවමදාවත් නොලැබෙන ආදරේ ගැනත් දැන දැනමයි.මේ ඇත්ත මට නොතේරෙනවා නෙමෙයි.අනේ ඒත් ඔය කිසිම දෙයක් මගේ මේ මුරණ්ඩු හිත තාමත් පිළිගන්නේ නැහැ.මේ මුරණ්ඩු හිත නිසා මම අසරණ වෙලා ඉන්න තරම අනේ ඔයා දන්නවා නම්..........


හැම මොහොතකම හිතෙන්නේ නුඹේ මුණ බලන්න
එකම එක තප්පරේකටවත් නුඹත් එක්ක දොඩමළු වෙන්න
නුඹ ලඟට වෙලා හැමදාම ඔය හිතට එබිකම් කරන්න
කථා කරන ඔය ඇස් දිහා බලන් ඉන්න
තරහා ගිය ඔයාගේ ලඟින් ඉඳන් හිනස්සන්න
ලඟට වෙලා ඔය දඟකාර රූපෙට ලෝබකම් කරන්න
දකින දකින හැම සිහිනෙම නුඹව දකින්න
ඔයා ලගින් ඉඳන් මේ පොද වැස්සට තෙමෙන්න
ගැහෙන සීතලේ නුඹේ උණුහුමට තුරුල්වෙන්න
හිත පිරෙනකම් නුඹටම ආදරේ කරන්න
ගෙවුන ඒ ලස්සන මතකයේ ආයෙමත් ඇවිද යන්න
අනේ ලැබුණ නම් මට ඔයාගෙම වෙන්න
කියන්න,
                   කියන්න,
මගේ මේ අහිංසක සිතුවිලි දැනෙනවද ඔයාට..??
  
............෴ ..........


බස් රේඩියෝ බ්ලොග් සතිය

 

Wednesday, July 11, 2012

අහිමි බිය...!


සිහිනයක් දකිනවා 
සැබෑවක් නොවනා
අවදිවන්නත් නොහැකිය 
ඔබ සිටින නිසා

ඔය ලයෙහි මුව හොවා
 පුංචි මුවැත්තියක් සේ 
ඔබ අසලින් සි‍ටින නිසා
ඔය සුරතෙහි දැවටි 
ලඟින් සිට ආදරයෙන්
 හද මත් වු නිසා

වෙන්ව නොයන්න 
ලං වෙන්නට ඕනා
තවකෙකු ඔබ වෙත 
ලං වේ දැයි හිත බිය නිසා

නමුදු,
.
.
.
.
කිසිදින ඔබ හිමි නොවනා 
මෙය සිහිනයක්ම වුනා
ඇසිපිය හැරියොත් 
යතාර්ථය පෙනෙන නිසා
සදාතනිකව ඇසිපිය 
නොහරින්න වුනා

ඔබ අහිමි වේ යැයි හැඟුන නිසා....

♥♥............♥♥ 

Saturday, July 7, 2012

අවසානය මතකයක්...!

                           කොහොම ලියන්නද කොහොම පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ මටම.ඒ තරමටම අද මගේ හිත සිතුවිලි වල අතරමන් වෙලා. අමතක නොවන මතක ගොන්නක මම හිරවෙලා.කොච්චර අමතක කරන්න හැදුවත් ඒ මතක හිතට එබිකම් කරන එක නවතින්නෙම නෑ.ගොඩක් සතුටින් සැහැල්ලුවෙන් හිටපු හිත අද මහ බරක් හිතේ තද කරන් විඳවනවා.‍මේ හැගීම් වල නිමාවක් මට දකින්න ඕන වුනත් ඒක කරන්න බෑ.ඔව්.., මම හිතන්නේ සමහර විට මට කවදාවත්ම මේ මතකයෙන් නම් ගැලවීමක් නැතිවෙයි.....

             
                       හවස වැඩ ඇරිලා ගෙදර යන්න බස් එකට නගින්න ගියේ මම හරිම කම්මැලිකමේ.මොකද වෙනදා වගේ පිස්සුවක් නට නටා යන්න මගේ අතිජාත මිත්‍රයා හිටියේ නෑ.මගේ මේ අතිජාත මිත්‍රයා තමයි හිරුණි.අද ටිකක් සනීප නැතිව වේලාසන ගෙදර ගියා.හිරුණි මමයි පොඩි දවස් වල ඉදලම යාළුවෝ.කොටින්ම කියනවා නම් දනගාන කාලේ ඉදන්ම...කොහොම හරි කම්මැලිකමේ බස් හෝල්ට් එකට ඇවිත් බස් එක එනකම් මම හිටගෙන ඉද්දි කොණ්ඩෙත් අත් දෙකෙන් හද හදා පාරෙන් එහා පැත්තේ ඉඳන් එන ඒ රූපේ මම දැක්කේ හරියට විදිල්ලක් එනවා වගේ.පුදුම හදිස්සියක් ඒ ගමනේ තිබුණේ.කවුරුවත් හිටියේත් නෑ බස් හෝල්ට් එකේ ඒ වෙලාවේ. හිටියේ අපි දෙන්නා විතරමයි.මමත් ඉතින් ටිකක් හොරෙන් හොරෙන් බැලුවා ඒ මුණ දිහා.ඒත් ඒ අහංකාර ඇස් නම් මං දිහා එක තප්පරේකටවත් බැලුවේ නැහැ.ටික වෙලාවකින් එන බස් එකකට මෙයා එකපාරට අත දැම්මා.බස් එකට නගින්න යද්දිම මෙන්න මෙයා මං දිහා බලලා හිනාවක් දාගෙන ගියා....

"පිස්සු කොල්ලෙක්...මෙච්චර වෙලා අහංකාරයා වගේ ගනන් උස්සන් අහක බලන් ඉදලා දැන් හිනා වෙලා යනවා..හරි ඒත් මට මොකද ඒ මෝඩයා මොනවා කලත්..මම මොකටද පිස්සෝ ගැන හිතන්නේ..?"

              ඒ වෙලාවේ මගේ යටිහිත මටම එහෙම කිව්වා.ඊ‍‍ට පිටිපස්සෙන් ආව බස් එකේ නැගලා මමත් සුපුරුදු පරිදිම යන්න ගියා.හැබැයි මගේ හිත තිබුණේම අර අහංකාර හිනාව ලග නැවතිලා.නැත්තම් ඉතින් කොන්දොස්තර ලගට ඇවිත් ටිකට් එක දික් කරන් ඉද්දි මම අහක බලන් ඉදීවි ද..?ඇත්තටම ඒකට නම් මට ලැජ්ජ හිතුනා.ඒත් ශේප් එකේ සල්ලි දීලා ටිකට් එක ඉල්ලන් හොදට කල්පනාවෙන් ඉදලා බස් එකෙන් බැහැ ගත්තා.ඒත් ගෙදරට එනකනුත් ඇවිල්ලත් මම හිටියේ කොහෙද ලෝකෙක අතරමං වෙලා.ඇත්තටම කිව්වොත් ඒ අහංකාර හිනාව ලග මම අතරමං වෙලයි හිටියේ.දැන්නම් එයාට පිස්සු කොල්ලෙක් කිව්වට මටයි පිස්සු හැදිලා තිබුනේ.

"සුදු දු...ඔයා මොකද ඔය ආපු වෙලේ ඉදන් ඇදට වේගන කරන්නේ..?නැගිටලා මෙහෙට එන්න මේ හිරුණි ළමයත් ඇවිල්ලා...."


                    ආපු වෙලාවේ ඉදන් මනෝ පාරක් දාගෙන හිටපු මම අම්මා කෑ ගහද්දි තමයි පියවි සිහියට ආවේ.ඔන්න එතකොටයි මට මතක් වුනේ හිරුණිව බලන්න ගියෙත් නෑ නේද..? කියලා.දැන්නම් ඉතින් කනක් ඇහිලා ඉදලා ඉවරයි.

"අනේ අම්මා මම පොඩි වැඩක්..හිරුට කියන්න මෙහෙට එන්න කියලා...."

              එහෙම කියාගෙන ඇදෙන් බිමට පැනලා ටක් ගාලා පොතකුත් අරගෙන ආයෙම ඇදට වැටුනා.නැත්තම් ඉතින් නිදහසට කියන්න කාරනෙකුත් නැතිව යනවනේ..

 "අනේ...යසයි මෙයාගේ තරම..මෙයා මෙතන සැපට පොත් බල බල ඉන්නවා..නිකමටවත් එන්න බෑ මාව බලන්න..අසනීප වුනත් මම ආවා මෙයා ගෙදර ඇවිත්ද බලන්න..අම්මපා මෙහෙම පාප මිත්‍රයෙක් තියන් ඉන්නවට මට ගහන්න ඔනා...."

                   හරි හිතුවා වගේම ඔන්න මට වැඩේ සෙට්වුනා.ඒත් ඉතින් පොඩි චාටුවක් දාලා හිරුව නම් යාලු කර ගත්තා.තරහා වෙවි යාලු වෙන එක ඉතින් අපි දෙන්නගේ පුරුද්දක්.ඒ මොනවා වුනත් මට හිරුණි ඉස්සරහ වෙච්ච දේ හංගගෙන කථා කරන්න බැරි නිසාම යාලුවෙක්ටත් සහොදරයෙක්ටත් හිටිය හිරුණිට මම සිද්ධිය නම් කිව්වා....


                       
                         


                 ඒ සිද්ධිය වෙලානම් අදට අවුරුදු දෙකක් විතර වෙනවා.ඒ අහංකාර හිනාව ලඟ මගේ ජිවිතේ නවතී කියලවත් නැත්නම් ඒ පිස්සු කොල්ලා මගේ එකම ආදරේ වෙයි කියලවත් මට හීනෙකින්වත් හිතුනේ නැහැ.එදා ඒ හමුවීමෙන් පස්සේ අපි පුරුද්දකට වගේ හැමදාම මුණ ගැහුණා.මට එයාවවත් එයාට මාවවත් නැතිව බැරි තරමට අපි අතරේ මහ ලොකු බැදීමක් ඇතිවුණා.හැබැයි කවමදාවත් එයාවත් මමවත් ඒ බැදීමට නමක් හොයන්න ගියේ නැහැ.හැබැයි හැමදාම තොර තෝංචියක් නැතිව බැණුම් කන්දරාවක් නම් මම මේක නිසා හිරුණිගෙන් අහගන්නවා.මම විතරක් නෙමේ එයත් එයාගේ යාලුවා ශාන්ගෙන් කප්පරකට බැනුම් අහනවා.අයියෝ මම හැමෝගෙම නම් කියනවා.තාම එයාගේ නම කියා ගන්න බැරිවුනානේ.ඔන්න අහගන්නකෝ එහෙනම් එයාගේ නම තමයි ශෙහාන්.ඔව් මගේ ඒ පිස්සු කොල්ලගේ නම ශෙහාන්.ඔය විදිහට කොහොම හරි අපේ ජිවිත ඔහේ අවුරුද්දක් වෙනකනුත් ගලාගෙන ගියා.

                             එක දවසක් අපි කට්ටියම කතා වෙලා බීච් ගියා.කට්ටියම කිව්වට අපි හතර දෙනා විතරයි ඉතින්.කොහොමටත් මම කැමතිම දෙයක් තමයි මුහුද ලඟට වෙලා ඉදගෙන ඉන්න එකනම්.ඊටත් මම එයා ලඟට වෙලා ඉන්න නම් හිත ඇතුලෙන් මහ හුගක් පැතුම් පුරවගෙන ආසාවෙන් හිටියේ.ඒ ආසාව මෙහෙමයි කියලා මට වචන වලින් නම් කියන්න බැහැ.ඇත්තමට මම එහෙම කියන්න ඔනිත් නැහැ.ඔයාලට ඒ හැගිම අත්දැකීමෙන්ම දැනෙනවා ඇතිනේ.එහෙම නේද..? ඉතින් එදා මම බීච් ගියේ නම් ආදරයක් පිරුණු හිතක ඇතිවෙන අහිංසක හැගිම් ගොන්නක් එක්ක.

              ඇත්තටම එදා හරිම ලස්සන දවසක් වගේම මහ එපාම කරපු දවසක්.පැය ගානක් ඇතුලත මුළු ජිවිතයම විදින්න තරම් මම වසනාවන්තියක් වුනා.ඒ වගේම තප්පර කිහිපයක් ඇතුලත ඒ ජීවිතේ නැති වෙන්න තරම් මම කාලකන්නියකුත් වුනා.ජීවිතේ ගැන මෙහෙමයි කියලවත් හරිහැටි අවබෝධයක් තිබුණ නම් මම මේ ආදරේ කියන අකුරු තුනට යටවෙන්නේ නැහැ.නමුත් අම්මා තාත්තාගේ ආදරේට හුරතලේ‍ට හැදුණ වැඩුණ මම මේ ලෝකේ ගැන මහ ලොකු දෙයක් දැනගෙන වුන්නේ නෑ.ඒ නිසා ජිවිතේ ගැන වගේම ආදරේ දිහා බැලුවෙත් බොලඳ ඇස් දෙකකින්.(ඔන්න අහනවා එහෙම නෙමෙයි බොලඳ ඇස් කියන්නේ මොනාද කියල නම්) එදා මාවයි එයාවයි තියලා ශානුයි හිරුයි ගියා කන්න මොනවා හරි ගේන්න කියලා.අපි දෙන්නත් ඉතින් ඔහේ කයියකට වැටිලා කියව කියව හිටියා.අපිටද ඉතින් කතා කරන්න දේවල් නැත්තේ.නැතත් ඉතින් කියවනවා.කටට නම් නිවනක් ඇත්තෙම නෑ.

"අනේ පුංචි උදව්වක් කරන්නකෝ....කෝ ඉතින් පුළුවන්ද කියන්නකෝ..??"

     එකපාරට හිටි හැටියෙම ශෙහාන් එහෙම අහද්දි නම් මම බය වුනා.ඒත් ඉතින් ඔන දෙයක් කියලා මමත් ඒ මුණට එබෙන ගමන්.......

"හරි ඉතින් කියන්නකෝ ඔන උදව්ව මොකක්ද කියලා...."

"මගේ මේ අහිංසක කන් දෙක ගැන හිතලා ටිකක් ඔය කච කච මල්ල වහගෙන ඉන්න පුළුවන්ද...??"

"ඔයා නම් මහම මහ මෝඩයෙක්..ඇත්තමයි ආයේ නම් මම ඔයත් එක්ක කතා කරන්නෙම නෑ..යනවා යන්න පිස්සා..මම තරහම තරහයි ඔයත් එක්ක..."

            එහෙම කිව්වට තරහ ගියේ නම් නෑ.තවත් මම ඒ ඇස් ඉස්සරහා අසරණවුනා විතරයි.මම ඒ දඟකාරකමට කොච්චර නම් ආදරේ කලාද...? ඒ වෙද්දිත් මගේ මුළු ජීවිතේම මම ඒ පය පා මුල තියලයි තිබුනේ.වෙනසකට තිබුනේ කටින් කියා ගන්න බැරිව ලතවුන එක විතරයි.

අනේ එක පාරක් මගේ දිහා බලලා ආදරෙයි කියන්න...තව නම් බෑ මට ඉවසගෙන ඉන්න...ඔයා දන්නවා නම් මේ හිත ඔයා වෙනුවෙන් මැරෙන තරම...මට පුළුවන් වුනානම් මම ඔයාට විතරක් නෙමෙයි මේ මුළු ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා කියනවා මේ හිත ඇතුලේ තද කරන් ඉන්න ආදරේ ගැන...ඇත්තමයි සත්තයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි කියාගන්න බැරි තරමට මම ඔයාට ආදරෙයි...!!!

"ආ කොහෙද ඒ පාර දුර ඈතකට ගියේ මගේ පැංචි..අනේ ඉතින් කතා කරන්නකෝ..මම පොඩි විහිළුවක්නේ කලේ..දන්නවද ඔය කච කච පෙට්ටිය වහලා තියෙද්දි මට කොච්චර පාළුද කියලා..??"

           අනේ ඒක කිව්ව තාලේට නම් මම පිස්සු වැටුනා.කටින් නොකිව්වත් ඒ ඇස්වල තිබුණ ආදරේ මම හොදටම දැක්කා.මොහොතකට හරි අපි‍ට අපේම වෙන්න වාසනාවක් තිබුණා.ඒ හිනාව ඒ ඇස් මගේ මුළු ජීවිතේම වෙනමම ලෝකේකට අරං ගියා....
                                                ඒ විදිහට ඒ ලස්සන ආදරේ වැඩි වෙලාවක් යන්නේ නැතිවම මහ අඳුරු වළාවක් ඇවිත් වහ ගත්තා.

"ශෙහාන් අයියා ඔයා මෙතන..අනිත් එක මේ මේ............."

"අහ්...පියු ඔයා..අද වෙලස්සන ඕෆ් වුනාද..?මම එන්නයි හිටියේ ඔයාව ගන්න..මම මේ ශානත් එක්ක ආවේ අනේ..කන්න මොනවා හරි ගේන්න කියලා ඌ කඩේට ගියා....."

             වෙන්නේ මොනාද කියලා හිතා ගන්න බැරිව මම ඔහේ බලාගෙන හිටියා.මම ඒ ගර්ල්ව කවදාවත් දැකලා නම් තිබුනේ නැහැ.ජිවිතේ කිසිම රහසක් තියන් හිටිය නැති අපි අතරට මේ පාත්වුන මරාලේ ගැන මම පුදුම වෙන එක පුදුමයක් නෙමෙයිනේ.මම ඉන්නවද නැද්ද කියලවත් ගානක් නැතිව එයා අර ගර්ල් එක්ක කතා කරනවා.හැබැයි ඒ කතා කරන විදිහට මට ඒ දෙන්නගේ සම්බන්දේ මොනවගේ එකක්ද කියල නම් තේරුනා.ඒත් තවමත් මගේ හිත හිටියේ ඒ දේ පිළිගන්න කැමැත්තක් නැතුවමයි.ඉතින් එයාලා කතා කරලා මගේ ලගට එනකම්ම මම එහෙම්මම වාඩිවෙලා බලාගෙන උන්නා.හැබැයි ඒ මොහොතේ මට දැනිච්ච අසරණකම ගැන නම් මම ඔයාලට අමුතුවෙන් කියන්නේ නැහැ....

"මාෂි.........මාෂි.........."

                 කතා කරන්න තියා බලන්නවත් බැරුව හිටිය මම මවා ගත්ත හීන් හිනාවක් එක්කම එයාලා දිහා බැලුවා.කොච්චර දුකක් හිතේ තිබුණත් ඒ දුකටත් වඩා ආදරේ වැඩි නිසා වෙන්න ඇති මට ඒ ගර්ල් ඉස්සරහ වෙනසක් පෙන්නලා ප්‍රශ්නයක් ඇති කරන්න ඔන වුනේ නැහැ.මම තරමටම එයත් අසරණ වෙලා හිටියා කියලා මම ඒ ඇස් දිහා බලද්දි හොදටම දැක්කා.ඒත් මම ඒ ඇස් දිහා බලලා ඉල්ලුවේ එකම දෙයයි.ඒ මාව තවත් අසරණ කරන්න එපා කියලා...

"මට ඔයාට කියන්න බැරි වුනානේ මාෂි...මේ පියුමි...අපි ලඟදි මැරි කරන්න ඉන්නේ..........."
  
        ඒ මොහොතේ කඩාගෙන වැටුන මගේ ලෝකය නම් අදටත් තවමත් මම හොයනවා.ඒත්..........


සිත ඇඳුනේ නුඹේ දිදුලන දෑස වෙතට
මතකයි තවමත් නුඹේ දඟකාර බැල්ම
නිදන්නට නොදි සිහිනෙනුත් වදදෙන
සිතේ මැවුනු නොමැකෙන නුඹේ රූපය
වඳදෙන්නේ ඇයි තවමත් මෙමට
දැන දැනම වෙන පුදසුනක පුදකල
මලක් වන වග නුඹ
පිදුවේ ඇයි නුඹේ ආදර මල මගෙ හදට
අහිංසකව විකසිත වී තිබු මගේ ලෝකය
කඩා වැටී පරව ගියේ නුඹ දුන් දුකට
හමුනොවුනත් මේ ආත්මයෙදි ආයෙත් 
ආදරය කරමි සැමදා නුඹේ මතකෙට....

      
     නිමි. 
 ............ ෴ ..........

Wednesday, July 4, 2012

සුදු වතින් සැරසි...!


අමතක නොවන මතකයක්
සිතුවිලි කළඹනවා
නුඹ ගැන මතකයන් සැම
ම සිත රිද්දනවා

සි‍ටියත් ඇසිපියවෙනතෙක්
ඵලක් නොවේ මා රැවටෙනවා
ආයෙමත් නුඹ නොයෙනා බව
මා හොද හැටි දන්නවා

දෑස් සවන්පත් සැමතැන
නුඹවම සොයනවා
දැන දැනම මේ ජීවිතය 
මායාවක් පසු පස හඹනවා

මට මතක නුඹට අමතක
මතක හැමතැන ඉකිබිඳිනවා
අද දිනය සිහි වු නිසා මා
නෙත කඳුලින් පිරෙනවා

සුදු වතින් සැරසි මා
මග බලමින් ඉන්නවා
මේ වතින්ම අවසන් ගමනත්
යන්නට දැන්නම් සිතෙනවා
 
 ♥♥............♥♥
 
 

Friday, June 29, 2012

ජීවිතයක්ද මේ...??




දන්නවද.,

 හිත පුරාම වල් වැදුණ
සිතුවිලි ගොන්නක්
පොර බදිනවා
එක පොදියට

මේ අව් කාශ්ඨකයෙන්
මිදිලා මට යන්න ඕනි
පය ගහලා ඇවිදින්න
මගේම ජීවිතයකට

අව්වට කකුල් පුපුරලා
දන දැවිල්ල වගේ
මගේ හිත පිච්චිලා
ඉවසන්න බෑ රිදෙනවා

                        කියන්න.,

කොළ, මල් නැති කරලා
පාළුවට ගිය මේ ගස් කද
මුලින්ම උදුරලා
විසිකරන්නද ඕනේ

මිනිස් පුළුටක් නැතිව
දුවිල්ල විතරක්ම පිරුණ
පාළු කාන්තාරයක
තනි කරන්නද ඕනේ

හුස්මක් කටක් ගන්න වායුවක්
තිබහ නිවා ගන්න දිය පොදක් නැති
ලෝකේක කාත් කවුරුවත් නැතිව
 අතරමං කරන්නද ඕනේ

                      




හරි.,

ඇවිදින මලකදක් වගේ
ඉන්න මේ ජීවිතය
ඔය අත් දෙකෙන්ම
සදහටම මරලා දාන්න

බලාපොරොත්තුවක් නැතිව
එහෙට මෙහෙට වැනි වැනි
ඉන්න මේ කාලකණ්නි ජීවිතය
සදහටම නැති කරලා දාන්න

මම තරහා වෙන්නේ නැහැ
ආයෙමත් ආදරේ පතාගෙන
තවත් ආත්මෙක ඔය පාමුල
වැඳ වැටෙන්න මම එන්නම්

 ♥♥............♥♥


Tuesday, June 26, 2012

මතකද...!

                     
                    මතකද.,
සීතලෙන් ඇඟ කීරී ගැසෙන
පින්න පිරුණු හිමිදිරි උදයක
සැමතැන මීදුමෙන් වෙළුන
අපි හමුවුණේ එවන් දිනක

                     මතකද.,
හිරු කිරණින් මුකුලිතවුන
අව් කාශ්ඨය පිරුණු දිනක
ඉදහිට සෙනඟක් යනෙන
ඇවිදන් ගියා එවැනි ගුරුපාරක

                     මතකද.,
ටක් ටක් ගා පොද වැටෙන
මිනිසුන් සී සීකඩ විසිරෙන
 කුරුල්ලන් කැදලි සොයා යන
පා යුග තැබුවා අපි පොද වැස්සක

                    මතකද.,
රන්වන් පාටින් හිරු බැසයන
ගොම්මන් කළුවර සිනාවෙන මොහොතක
රළ පෙරලමින් පෙණ දමන එතන
හැරගියා නුඹ මා තව ජීවිතයක
  
♥♥............♥♥

Saturday, June 23, 2012

නුඹ එනතෙක් මගබලාන...!


හිරු බැසගිය සැදෑවක
නුඹ එනතෙක් මගබලාන
සිටියා වෙලෙමින් සිහිනෙක
නුඹ දකින්නට සිතාන

ඈතින් හමාඑන සුළගක
සීත දැනෙනවා මගේ ගතට
හමාඑන මහ සුළි කුණාටුවක
පෙරනිමිත්තක් කියනවා  සිතට

තනිව මා ගං ඉවුරක
ලතවෙනවා සිහිවී නුඹව
හද ගැහෙන සිතුවිල්ලක
දුව යනවා නුඹේ සිනාව

මොහොතකින්  එන ඝන අදුරක
බිය දැනෙනවා සිතට
නමුදු මා යන්නේ කෙලෙසක
නුඹ නොයෙන බව දැණුන විට

සීතලට මගේ කම්මුලක
වැදුණු තෙත අතක පහස
ගැස්සුවා මා එක උදේක
අහරවමින් සිහිනය අභියස

එවිටයි දන්නේ එක අදුරු රැයක
නුඹ එනතෙක් මගබලාන
සිටියේ මා තවත් එක සිහිනෙක 
කෙදිනකවත් සැබෑවක් නොවන

♥♥............♥♥

Thursday, June 21, 2012

කියන්න මගේ රත්තරනේ...!


ආදරයේ විරහවෙන් හද පෙලෙනවා
පණ ගැට ගහන්න මා වෙහෙසක් දරනවා
කියන්න මගේ රත්තරනේ
විඳින සතුට නුඹේ ලොවින් මා එළවා

මගේ ලොවින් මා ගෙන ගියේ නුඹම තමා
අද මා තනිකර පලා ගියෙත් නුඹම තමා
කියන්න මගේ රත්තරනේ
වරද ආදරය කිරිමද මෙමා

නුඹෙන් තොර වු ජීවිතයක් නම් මට තවත් එපා
මොහොතින් මොහොත දැන් අයදින්නේ මරණයම තමා
කියන්න මගේ රත්තරනේ
මියෙන්නට පෙර මතු භවයෙවත් නුඹ මගේ කියා

♥♥............♥♥

Monday, June 18, 2012

සංසාරගත බැදීමක්...!

                             
                         හීන් පිනි පොදක් ඇඟට වැටෙනවත් එක්කම ඇඟ කීරි ගැහෙන්න හමාගෙන ආව සුළග නම් ගෙනාවේ වැස්සක පෙර නිමිත්තක්ම තමයි.මේ වගේ වෙලාවක් නම් අත්හරින්න හිතෙන්නෙම නෑ.වැස්සට තෙමෙන එක තරම් සුන්දර දෙයක් තවත් තියනවද..? ඔයාලත් ඉතින් ඒක හොදට දන්නවා ඇතිනේ....

චුටී...චුටී...ඔයා කොහෙද..?

              සුදු අයියගේ කෑ ගැහිල්ල හරියට මම වැස්සට ගහගෙන යනවා වගේ. සුදු අයියා කියන්නේ මගේ ඇවැස්ස මස්සිනා. ඇත්තම කියනව නම් සුදු අයියගේ පණ ටික තිබුනේ මගේ ලඟ. ඒ ආදරේට නම් මමත් මහ හුඟක් ලෝබයි. ඒත්.....මට ඒ ආදරේ‍‍ට ලංවෙන්න හිතක් තිබුණෙම නැහැ. 

"ඔයා දැන්ද ආවේ..? මම මිදුලේ සුදු අයියා... කියන්න මට ඇහෙනවා ඇයි කථා කලේ..?"

"ඇහෙනවා තමයි...පේන්නේ නැද්ද හතර වටේම කළුකරගෙන වහින්න එනවා...මෙහෙට එන්න චුටී...බලන්න හොදටම පොද ගහනවා..."

              සුදු අයියා ඒ කියපු වචන ටිකට නම් මාව පිච්චුන ගානයි. අනේ මට මං ගැනම දුක හිතුනා. මටත් අනිත් අයට වගේ මේ හැමදේම දකින්න තිබුණා නම්....හිතට එහෙම දැනෙද්දි කටිනුත් ඉබේටම ඒක පිටවුනා.

"අනේ, ඔයාට වගේ මටත් පේනවානම් සුදු අයියේ....."

              එහෙම කියලා ඇස් වලින් පැනපු කදුළු පොදිය මමම අත් දෙකෙන් පිහදාගත්තා. ආදරේ හිතිලද අනුකම්පා හිතිලද මන්ද සුදු අයියා මම හිටපු බංකුව උඩින්ම ඉඳගෙන මාව තුරුල් කර ගත්තා. හිත මොනවා කිව්වත් හැමදාමත් ඒ ආද‍රේ ලඟ මම පුංචි අතදරුවෙක් ගානයි. ඇඟට දැණුන සීතලට මමත් ඒ උණුහුමට තවත් ලංවුනා. අනේ මගේ සුදු අයියටත් මේ අන්ධ කෙල්ලගෙන් තොර ලෝකයක් තිබුණෙම නෑනේ. ඉඩක් තියන හැම තප්පරයක් ගානෙම දුවගෙන එන්නේ මාව බලන්නමයි. මම දන්න දා ඉදන්ම ඒක එයාට තිබුණ පුරුද්දක්. පුංචි කාලේ ඉදන් අපි හැදුනේ වැඩුනේ එකටමයි. මොකක්දෝ පවකට ඉපදුණ දා ඉදන් මට මේ ලෝකේ දකින්න ඇස් දෙකක් තිබුණේ නැහැ.ඒ නිසා මම හැමදාමත් මේ ලෝකේ දැක්කේ සුදු අයියගේ වචන වලින්... පවුලේ එකම දරුවා වෙච්ච මට හැමදේටම ලඟින් හිටියේ සුදු අයියා විතරමයි. පුංචි දා ඉඳන් තිබුණ ඒ ආදරේ ලෙංගතුකම අපිව ආදරවන්තයෝ කරලා නම් තාම අවුරුද්දක්වත් ගෙවුනේ නැහැ. හැබැයි මම එයාට මොන තරම් ආදරේ කලත් මට කවමදාවත් එයාගේ වෙන්න නම් ඕනකමක් තිබුනේ නෑ. මොකද ඒ ලස්සන ජිවිතේ අඳුරින් පුරවන්න මගේ හිත පොඩ්ඩක්වත් කැමතිවුනේ නැහැ.

"අනේ පැටියෝ, මම අඬන්න තරම් දෙයක් කිව්වේ නැනේ ඔයාට...වැස්සට තෙමිලා ඔයා ලෙඩ වෙයි කියලනේ කෑ ගැහැවුවේ... කෝ කෝ දැන් ඉතින් හොද කෙල්ල වගේ හිනාවෙන්නකෝ ටිකක්...

                    මාව හිනස්සන්න හැදුව ඒ ඇස්වල තියෙන කදුළු මට පෙනෙයි කියලා බයටම සුදු අයියා මගෙන් මුණ වහන් කරගෙනම කථා කලා. මටත් ඒ ඇස් අඬවන්න තිබුණ ලෝබ කමටම හිතේ දුක එහෙම්මම තද කර ගත්තා.ඒ වෙලාවෙම හයියෙන් කඩා වැටුන වැස්සට ඇස් වල කදුළු විතරක් නෙමෙයි ඇත්තටම හිතේ කදුළුක් සේ දිලා ගියා.


"චුටී දු...සුදු පුතා...මෙහෙට එන්නකෝ ළමයිනේ.....වහිනවා නේද  හොදටම..? එන්න ළමයිනේ ගෙට...."

                    ඒ පාර අම්මා ගේ ඇතුලේ ඉදන් කෑ ගහනවා. සුදු අයියා අම්මට කථා කරන ගමන් මාවත් එක්කගෙන ගෙට ගියා.

"මේ එනවා නැන්දේ...."

               ගෙට යද්දිම අම්මා දුවගෙන ඇවිත් තෙමිච්ච පිටින්ම හිටිය මාව තුරුල් කරගෙන අඬන්න ගත්තා. අනේ මන්දා ඒ පාර නිකම් මටත් පිස්සු වගේ. ඇයි අප්පා ‍හොදට හිටිය අම්මා එකපාරට අන්න ගත්තාහම බයවෙන්නේ නැද්ද..?

"අනේ මගේ මැණික දිහා දෙවියෝ බලලා මගේ පුතේ....මගේ මැණිකට එළිය බලන්න ඇස් දෙකක් ලැබිලා පුතේ...මේ දැන් මට ඩොක්ටර් සමරසිංහ කථා කලා...හෙට උදේම චුටීව එක්ක එන්න කියලා...."

                     අම්මා සුදු අයියට එහෙම කියාගෙන අපි දෙන්නවම එක පාර තුරුල් කර ගත්තා. වෙන්න යන කිසිම දෙයක් හිතා ගන්න බැරිව අපි දෙන්නම හිටියේ ගොළුවෙලා. ඇත්තටම සුදු අයියට කෙසේ වෙතත් මට නම් හීනයක් දකින ගානයි. මොකද මම දන්න දා ඉදන් මට බද්ද කරන්න ඇස් දෙකක් හෙව්වත් හම්බුනේ නැහැ. ඉතින් හදිස්සියෙන් මේ වුන දේ මට හීනයක්ම තමයි. 

"අයියෝ හිනා වෙන්න ඕන වෙලාවේ අන්න එපා නැන්දේ...දැන් හැමදේම හරිනේ...."

               එහෙම කියලා සුදු අයියා අම්මගේ හිත හැදුවත් සතුට වැඩිකමටම ද කොහෙද අම්මා අඬන එකනම් නැවැත්තුවේ පැය ගානක් ගිහිල්ලා.හුගක් කළුවර වැටිලාත් තිබුණ නිසා වැස්සෙම වුනත් සුදු අයියා ආපහු ගෙදර යන්න ලෑස්තිවුනා. 

"මම දැන් යන්නම් පැටියෝ, අම්මත් බලාගෙන ඇතිනේ...හෙට උදේම යන්නත් තියන නිසා ඔයත් වේලස්සන කාලා නිදා ගන්න...හොදද..?"

                  එහෙම කියලා මහ ලොකු බරක් උස්සන් ඉදලා බිමින් තිබ්බා වගේ හුස්මක් පිට කලා. මට දැනුනා එයා අත් දෙකෙන් මාව අල්ලන් හිටිය විදිහෙන් එයා මම දිහා බලන් ඉන්නේ කියලා.මෙච්චරට සුදු අයියා හිතේ තද කරන් ඉන්න බර මොකක්ද කියලා නම් මට තේරුම් ගන්න පුළුවන් වුනේ නැහැ කොහොමටවත්.

"අනේ ඇයි සුදු අයියේ මේ..?"

"යන්න හිතෙන්නේ නෑනේ මට...තව ටිකක් ඔය මුණ දිහා බලන් ඉන්නමයි හිතෙන්නේ....දන්නවද චුටී, ඔය ගොරකා මුණ කොච්චර කැතද කියලා..?"

"අනේ මේ යනවා යන්න..කවුද දන්නෑ ගොරකයා.හෙට ඉදන් මමත් බලන්නම්කෝ ගොරකයගේ මුණ..."

                   

           
              අම්මා අහරවන්නත් කලින්ම මම උදේ නැඟිටලා ලෑස්තිවුනා.ඇත්තටම හිතේ තිබුණ සතුට නම් කියලා නිම කරන්න බෑ මට. ඔපරේෂන් එකට ගන්න කලින් හැමෝම එක එක දේවල් කියලා එළියට යන්න ගියා. ඒ කියපු දේවල් අහන්න තරම් මගේ මනස නිරවුල් තත්වෙක තිබුනේ නැහැ. මොකද සතුට වගේම බයකුත් මගේ හිත ඇතුලේ තිබුණා. හැමොම යන්න ගියත් සුදු අයියා මං ලඟ හිටියා.එයාට නම් මම ලඟින් යන්න ගානක් නැතිම පාටයි.

"බයවෙන්න එපා පැටියෝ...හැමදේම හොදින් සිද්දවෙයි...මමත් එහෙනම් එළියට වෙලා ඉන්නම්..."

                             එහෙම කිව්වත් සුදු අයියා මං ලඟින් ගියෙම නෑ. මගේ ඔලුවට අත තියාගෙන ලඟට වෙලා හිටියා.කියා ගන්න බැරි මහ මොකක්දෝ දෙයක් ඒ හිත ඇතුලේ තිබුණා කියලා නම් මට දැනුණා.ඒත් ඒ මොකක්ද කියලවත් ඒ වෙලාවේ නම් මම අහන්න ගියේ නැහැ.ටික වෙලාවකින් නර්ස් කෙනෙක් ඇවිත් සුදු අයියට කතා කලා.

"ඔයාට ඩොක්ටර් සමරසිංහ කතා කලා...."

                               සුදු අයියා එතනින් යන්න ගියාට පස්සේ මාව පැය 2/1කින් විතර ඔපරේෂන් එකට අරංගියා. කොහොම හරි හැමදේම හොදින් සිද්ද වෙලා තිබුණා. මගේ වෙළුම් පටි ගලවනවා කියලා ඩොක්ටර් සමරසිංහ මට කියද්දි මට දැනුණ සතුට නම් කියලා නිම කරන්න බෑ. ඉපදිලා හරියටම අවුරුදු 20කට පස්සේ මම මේ ලෝකේ ඇස් දෙකකින් දකින්න යන්නේ. මට හිතාගන්නවත් බැහැ. ඩොක්ටර් සමරසිංහ මගේ වෙළුම් පටි එකින් එක ගලවලා හෙමිහිට අයින් කළා.ඇත්තටම මම සැරින් සැරේට හිතුවේ මේක හීනයක් නෙමේ නේද කියලමයි...

"හරි පුතේ..., දැන් හෙමින් පරිස්සමට ඇස් අරින්න....."

                           දෙයියනේ..., මට මොනවද ඇහෙන්නේ කියලවත් හිතාගන්න බැහැ.හෙමින් හෙමින් මම ඇස් අරිද්දි හැමෝම මගේ වටේට වෙලා හිටියා.අම්මා මගේ ලඟට ඇවිත් මාව තුරුල් කරගෙන අඬන්න ගත්තේ සතුටටද දුකටද කියලා හිතාගන්න බෑ.කවදාවත්ම දැකලා තිබුණේ නැති ඒ හැම දෙනාවම මම දැක්කා ජිවිතේ පළමු වතාවට...ඒත් මට දැනුණා මගේ ඇස් දකින්න පොර බදන ඒ රූපේ විතරක් එතන නැති විත්තිය. අනේ ඔව් මගේ සුදු අයියා එතන නැහැ.එයා කෝ..? ඇයි මට පේන්න එන්නේ නැත්තේ..? සමහරවිට ගොරකා මුණ පෙන්නන්න තියන ලැජ්ජාවට වෙන්න ඇති. ඒ විදිහට එක එක සිතුවිලි හිත ඇතුලේ පොර බදද්දි.........

"අනේ අම්මේ සුදු අයියා කෝ..? එයා මෙතන නැත්තේ ඇයි..? අනේ කියන්නකෝ..?"

                    මම අහපු දේට අම්මා මොකුත්ම කියන්නේ නැහැ. අම්මා තියා කවුරුවත්ම මට මොකුත් කියන්නේ නැහැ. හැමෝගෙම මුණු අමුතු වෙලා. අහලා අහලා එපා වුනු තැන ඉවසගන්න බැරිව මට මහ හයියෙන්ම ඇඩුණා. අම්මා මාව ලට අරගෙන.....

"අඬන්න එපා මගේ මැණික..එන්න මගෙත් එක්ක..මම මගේ මැණිකගේ සුදු අයියාව පෙන්නන්නම්...."

                 එහෙම කියලා අම්මා මගේ අතින් අල්ලගෙන එක්කන් ගියේ I.C.U. කියලා ගහලා තිබුණ රූම් එක‍ට. මොනවත්ම හිතාගන්න බැරිවුන නිසයි ආයෙමත් හැරිලා අම්මගේ මුණ දිහා මම බලාගෙන හිටියේ.ඒත් අම්මා මොකුත් නොකියම මුණ අහකට හරව ගත්තා.අපිත් එක්කම ආව නර්ස් මාව අතින් අල්ලන් ඇතුලට එක්කගෙන ගියා. ජිවිතේ පළමු වතාවට මට ඒ මුණ දකින්න ලැබුනේ කවමදාවත් හීනෙකින්වත් නොහිතපු විදිහට. මගේ ඇස් වලින් දැකපු දෙයින් මට කෙලින් හිටගෙන ඉන්න තරම්වත් ඇඟට වාරු ගන්න බැරිවුනා. මගේ ඇස් හැමදාටම පෙනුනේ නැත්නම් කියලා හිතුනා. දෙයියනේ මගේ රත්තරං සුදු අයියා ඇඳක් උඩට වෙලා ඔහේ උඩ බලාගෙන ඉන්නවා.කිසිම සිහියක් පතක් තිබුණේ නෑ එයාට.අහපු දැකපු දේවල් වලින් මට මාවම එපා වුනා. හැමදාම ඒ ඇස් දෙකෙන් වචන වලින් මේ ලෝකේ මට පෙන්නපු සුදු අයියා සදහටම ඒ ඇස් දෙක මට දුන්නයි කියලා දැන ගත්තහම......

"අනේ මෙච්චර ආදරයක් ඔය හිතේ මම ගැන තියන් හිටියේ කොහොමද මගේ සුදු අයියේ.....?"


ජිවිතය යනු ආදරය කියා 
ඉගැන්නුවේ මට නුඹයි එදා
හිස්ව ගිය සිත් කවුළුව හැර
සිත පිරෙන්න ආදරය කැටිකළා
ජීවන මංපෙත නුඹ පෙන්නලා
ජීවන රසයට මිහිරක් ආදරයෙන් එකළු කළා
කෙදිනකවත් ලොවක් නොදුටු මෙමා
ලොව දකින්න මට ඔය නෙතු පුජා කළා
නෙතින් ලොව දකිනා පළමු දිනේ
නුඹ දකින්න මා පින්කළා
නමුදු හිත වාවන්නේ නම් නෑ රත්තරනේ
මට හිමිකළ නෙතු අද නුඹ හට අහිමිවෙලා
සාගරයක් තරමට ආදරය පෙන්වා
මගේ ආදරය වැලිකැටයක් කළා
සසරෙ පතන හැම භවයක් පුරා
අපි අපේම වන්නට පෙරුමන් පුරමු මෙදා....

       අපේ ආදරේ අපිට නැති වුනොත් අපි හිතන්නේ මේ ලොකේ ආදරේ කියන්නේ මහ බොරු කිසිම වැඩකට නැති දෙයක් කියලා.අපි කොච්චර දුක් වෙනවද, අඬනවද, තැවෙනවද, ඒ ගැන.නමුත් එහෙම කරන එකෙන් වෙන්නේ අපේ ආදරේ අපිම මරලා දානවා වගේ වැඩක්. මම හිතනවා ආදරේ කියන්නේ වචනෙකින් කියලා නිම කරන්න බැරි උතුම් දෙයක් වගේම මේ ආදරේ ලැබුනත් නොලැබුනත් ඒක සංසාරගත බැඳිමක් නිසා ඇතිවෙන දෙයක් කියලා.සමහර විට මම වැරදිද දන්නෙත් නෑ.ඒත් මම කිව්වේ නම් මට හිතෙන දේ.මම මෙච්චර ලස්සනට ආදරේ දකින්න පුරුදු වුනේ මගේ සුදු අයියගෙන්...මම හිතනවා මේක ඇත්තටම සංසාරගත බැදීමක් කියලා...මම ඔයාලගෙනුත් ඉල්ලන්නේ අපි හැමදාමත් ආදරේට ආදරේ කරමු කියලා...... 


      නිමි. 
 ............ ෴ ..........