Tuesday, May 21, 2013

පුංචි කහමලක්...!

                                 දන්නවද හිත කියන්නෙම මේ ගං දියරැලි අතරින් ඔයා හොයාගෙන මේ ඈතින් පෙනෙන අහස් ගැබට ලංවෙන්න කියලමයි..මොකද හීන පිරුණු මේ හිත හැමදාම පතන්නේ ඔයාගේ උණුසුම රැදි ඒ ආදරේම විතරක් නිසා..ඔයාට ලංවෙලා ඔයා දුන්න මේ පුංචි කහමල අතින් අරගෙන ඔයාට තුරුල් වෙන්න හිත කොච්චරනම් පෙරුම් පිරුවද..? ඒ දවස හිතුවෙවත් නැති විදිහට ලංවුනහම හිතට දැනුන සතුට ගැන නම් කොහොම කියන්නද.. මේ පුංචි මල වගේම ඔයාගෙන් ලැබුණ ආදරේත් මට මහමෙරක් තරම්.. ඔව් ඇත්තමයි.., ජීවිතේ හැම දවසක්ම හැම මොහොතක්ම ගෙවෙන්නේ දැන් ඔයත් එක්ක ගෙවෙන මේ ලස්සන මතකයන් එක්ක විතරමයි.... :) 




දැනෙනවා නුඹ විටක,
                                 සිසිල ගෙනෙන මද     පවනක්
                                 පිපාසය නිවන දිය       දෝතක්‍
                                 සෙවන  දෙන මහ         රුකක්
                                 ජීවිතය සරසන පුංචි  කහමලක් . . .


සිතෙනවා මසිතට,
                              සුළං පොදක් වී හමා යන්න නුඹත්        සමඟ
                              පිපාසය නිවා ගන්න තුරල් වී නුඹේ   ආදරයට
                              සෙවනක් ලබා ගන්න වැටි නුඹ          පා මුල
                              නුඹේ අතින් ගෙන සිපගන්න පුංචි  කහමලක් . . .

                             

                                     ♥♥............♥♥



Friday, May 10, 2013

සියලු සැප හිමි මටයි...!


කඩදහියක් ගැණුනේ වදනක් ලියන්න
 එහෙත් ලියවුනේ නුඹේ නමයි

කැඩපත ලඟට ගියේ මගේ රුව දකින්න
එහෙත් දුටුවේ නුඹගේ හදයි

එළියට පියමන් කලේ රෑ අහසේ තරු බලන්න
එහෙත් දුටුවේ තරුවක් වැනි නුඹේ රුවයි

ඇහිපිය වසා යහනට වැටුනේ නිදන්න
එහෙත් නොනිදා සක්සන් කලේ නුඹේ ලඟයි

අනේ හැකිනම් සැමදා නුඹ පා මුල හිදින්න
මෙලොවෙහි සියලු සැප හිමි මටයි.... 
  
♥♥............♥♥


Wednesday, April 24, 2013

එන්නෝ ... එන්නෝ ... කේක් කන්න එන්නෝ....!

                               ඔන්න කාලෙකින් බ්ලොග් ලෝකේට ආයෙමත් සිතුවිලි දැහැන ගොඩවැඳුනේ නම් නිකම්ම නෙමෙයි සිතුවිලි යාලුවෝ හැමෝටම රසම රස කේක් එකක් බරට බරේ අරගෙනයි.  

එන්නෝ ... එන්නෝ ... කේක් කන්න එන්නෝ....!
                 
                  එහෙනම් අපි වෙනසකටත් එක්ක කේක් කෑල්ලක රස බලලම කතාවට සෙට් වෙමුකෝ යාලුවනේ ....



                         ඔන්න ඉතින් දැන් ඔයාලා හිතනවා ඇතිනේ එකපාරට හිටි හැටියේ මම බ්ලොගයට කේක් එකක් උස්සන් දුවගෙන ආවේ මොකද කියලා. මෙන්න මේකයි යාලුවනේ අද ඒ කියන්නේ 2013 බක් මාසේ 24 වෙනිදා සිතුවිලි දැහැනට අවුරුද්දක් පිරීමේ සතුට මගේ සිතුවිලි යාලුවෝත් එක්ක බෙදා ගන්න තමයි මම මේ කඩිමුඩියේ දුවගෙන ආවේ.  

                  අහම්බෙන් වගේ ගොඩවැදුන බ්ලොග් ලෝකේ‍ට මම එකතු වුනේ හිතු අක්කිගේ බ්ලොග් එකේ (හිතුවක්කාරිගේ හිත) තිබුණ කතාවක් කියවලා ඒකට කමෙන්ටුවක් දාන්න හිතාගෙනයි.

                           දන්නදා පටන් කවි කතා වලට ආස කරපු මට බ්ලොග් ලෝකේට හිත ගිය එක පුදුමයක් නම් නෙමෙයි. ඔන්න ඔහොම බ්ලොග් ලෝකේට පය ගහපු සිතුවිලි දැහැනට බ්ලොගය නිසා නම් ගොඩක් දේවල් ලැබුණා. ඒ අතරින් වටිනම දේ තමයි සිතුවිලි දැහැනේ විසිරුණු  සිතුවිලි එකතු කරපු අහසක් තරම් මගේ ආදරේ......

               හැබැයි ඉතින් මෙහෙම ලස්සන බ්ලොගයක් හදා ගන්න මුලින්ම මට උදව් කලේ නම් මගේ සිත්තමී අක්කියා (සිහින සිත්තම්) තමයි. හැමදාම මගේ කවි කතා සිතුවිලි යාලුවන්ට කලින් බැලුවෙත් සිත්තමී අක්කි තමයි. පෝස්ට් එකක් දාන්න කලින් ලඟට ගිහින් සිය පාරක් විතර බලන්න කිය කියා කන් කෙදිරි ගාලා සිත්තමී අක්කිගෙන් හැමදාම බැනුම් ඇහුවේ නම් නැහැ. හේ.. හේ.. කොහොම වුනත් සිතුවිලි දැහැනට මේ ගමන එන්න උදව් කරපු මගේ සිත්තමී අක්කිට නම් ගොඩක්ම ගොඩක් ස්තූතීයි..! 

              ඒ වගේම හැමදාම මගේ කවි සිතුවිලි වල අඩුපාඩු පෙන්නලා ලස්සනම ලස්සන කවියකින් අමතක නොකරම කමෙන්ටුවක් දාන දිනේෂ් අයියවත් (වර්ණ) බ්ලොග් ලෝකය ගැන කියලා දුන්න සිත්තමී අක්කි වගේම ලස්සන සිතුවිලි මවන්න හයියක් දුන්න රෙප් අයියවත් (රෙපාගේ අම්බලම) සිතුවිලි දැහැනේ හැම පෝස්ට් එකක්ම වගේ බලපු මධුරංග අයියවත් (සිතක සංකල්පනා) සිතුවිලි දැහැනට අවුරුද්දක් පිරෙන මේ සතුටු මොහොතේ ගොඩක් ආදරෙන් මතක් කරනවා 
  

නමින් නොකිව්වත් සිතුවිලි දැහැනත් එක්ක හැමදාම හිටපු සිතුවිලි දැහැනට ආ ගිය සිතුවිලි දැහැනේ සියලුම යාලුවන්‍ට ම‍ගේ ප්‍රණාමය..........

 

Wednesday, August 8, 2012

අමතක නොවන අද වැනි දිනක්...!


කලකින් ලියවුණා අද කවියක්
නුඹ නොදුටු ම සිත නිසාවෙන්
සඟවන්නට හදන හැඟුමන්
එබිකම් කරනවා හද පත්ලෙන්



               සිතුවිලි පටලවමින් කල සිත්තමක්
               පෙන්නුවේ මා නුඹහට ආසාවෙන්
               සිනාවුනා නුඹ දැක එක කවි පදයක්
               එපාවුනා මට මේ කවි හැඟුමන්


පුංචි දේටත් දැනෙන දුකක්
ගේනවා නෙත් කොනට කඳුලක්
නමුදු නුඹේ දඟකාර සිනාවක්
නැති කරනවා ඒ සැම කඳුලක්


           
                අමතක නොවන අද වැනි දිනක්
                ගෙනාවේ ම සිතට නුඹ සතුටින්
                බලාහිඳින්නද මා තව කල්පයක්
                ලැබෙනතුරු නුඹගෙන් තිළිණයන්



♥♥....................♥♥


Tuesday, July 31, 2012

කතාවක් වගේ කතාවක්...!

              ඔන්න අද නම් මම ටිකක් වෙනස් පැත්තකට පැන්නා.හැමදාම මම අඬනවා කියලා ගොඩක් කට්ටිය අහිංසක මගේ සිතුවිලි වල‍ට චෝදනා කරනවානේ.හැබැයි ඉතින් මම නම් සැලෙයි ඔව්වට.(හේ..හේ..)ඒ වුනාට මම අද පොඩි කතාවක් කියන්නම් අහන්ඉන්නකෝ.නෑ නෑ වැරදුනා බලන්ඉන්නකෝ...මෙන්න මේකයි පොඩි සිද්දියක්.පොඩි කිව්වට පොඩිද මන්දා.හරි හරි බලන්නකෝ.බැරිවුනත් අමාරුවෙන් හරි බලන්නකෝ.(හේ..හේ..)

           ඔන්න එක දවසක් අපේ ඔෆිස් එකේ පොඩි සිද්දියක් වුනා.අපි ඉතින් කරන්නේ ග්‍රැප්ෆික් වැඩකිඩ තමයි.ඉතින් මම මේ කියන්න යන දවසේත් අපි සුපුරුදු පරිදි වැඩ කර කර තමයි හිටියේ.(වැඩ අස්සේ පිස්සු නටන එකත් අපේ එක රාජකාරියක් තමයි.මොකද ඉතින් ටිකක් දැඟලුවේ නැත්නම් අපිට උණ වගේනේ.:D ඒ වුනාට අපි ඉතින් හරි හොද ළමයි.) ඔන්න ඉතින් වෙනදා වගේම කස්ටමස්ලා එක්කෙනා දෙන්නා ඉතින් එනවා හෝ ගාලා එයාලගේ වැඩ ටික කර ගන්න.අපිටත් ඉතින් කාගෙවත් වෙනසක් පෙනුනේ එහෙම නැති නිසා සුපුරුදු පරිදි වැඩ කරගෙන ගියා.

             හැමදාම උදේට බැංකුවට සල්ලි දාන්න අපේ බොස් පුරුදු වෙලා ඉන්නවා.ඒකට ඉතින් වෙනම ළමයෙකුත් අරගෙන තමයි ඉන්නේ.හැබැයි මම ඔන්න ඔය කියන දවසේ ඒ ළමයට අසනීප වෙලාද වෙන මොනවා හරි වෙලාද මන්දා ඔෆිස් ආවේ නම් නැහැ.හපොයි දැන් ඉතින් ඉවරනේ....කවුද දැන් බැංකු යන්නේ....ඔන්න ඉතින් ප්‍රශ්නේ..? කොහොම හරි බැංකු යවන්න කියලා කෙනෙක් නම් ඔෆිස් එකේ හිටියේ නැහැ.ඒක නිසා එදා අපේ බොස් සල්ලි බැන්ක් එකට දාන වැඩේ පහුවදාට කල්දාලා එයත් සුපුරුදු පරිදි එයාගේ වැඩවලට එළියට ගියා.අවසානෙට ඉතින් වැඩ කරන අපි තමයි ඉතුරුවුනේ.

               හරි හරි නිදිකිරා වැටෙන්න එපා දැන් තමයි හොදම හරිය පටන් ගන්නේ.අහල පහල තියන වතුර ටිකක් අරගෙන මුණ ටිකක් තෙමා ගන්නකෝ ඔය නිදිමද ගතිය යන්න.:D හරි එහෙනම් ඇස් ගෙඩි දෙක එළියට දාගෙන දැන් බලන්නකෝ ඉතුරුටික.(හේ..හේ..) ඔන්න ඉතින් දැන් මං ගාව ඉන්නවා කස්ටර්ම කෙනෙක්.අම්මෝ...මේන් මෙන්න විතර ඇති.අලිපත කළුම කළු බඩ මහත මෑන් කෙනෙක්.දැක්කාම උණ ගැණුනා මට නම්....ඒ තරමට බයංකර, බියකරු ඔය මොන මොනාදෝ පෙනුමක් තිබුනේ.:D 

               
                    හලි හලි පොඩ්ඩනේ ට්‍රැක් පැන්නේ ඕකට ඉතින් අපේ නෑ සනුහරේ මතක් කරන්න ඕනේ නෑ....හරි බලන්නකෝ.....ඔන්න ඉතින් දන්න ශිල්ප ඔක්කොම දාලා මම ආර්ට් වර්ක් එක හදලා ඉවර කලා.මේ මනුස්සයත් අනිත් කස්ටර්මලා වගේම කිසිම වෙනසක් නැතිව අරෙහෙමයි මෙහෙමයි කියලා ආර්ට් වර්ක් එක ඕකේ කරලා ටිකක් ඉන්න කියලා පැත්තකට ගිහින් ෆෝන් එකෙන් මොන මොනවදෝ කා එක්කද කියවනවා.මෙයා ලෑස්ති වෙන්නේ ආයෙත් යන්නේ නැතිව මාව කන්න තමයි කියලා මට හිතුන නිසා බොහොම වීනිතව හිතින් මෙයාගේ ඥාතීන්ව මතක් කර කර මම හිටියා.ඇයි ඉතින් ආපු වැඩේ කරගෙන අහිංසක මට ටිකක් නිවිහැනහිල්ලේ බ්ලොග් එකක්වත් කියවන්න දුන්නා නම් මේ මනුස්සයට පවු සිද්ධවෙනවද මම අහන්නේ..?හරි හරි ඉතින් ඔයාලත් මට රවන්න එපා.:D 

                 ඔන්න ඉතින් ටික වෙලාවකින්.....................(අනේ පොඩ්ඩක් ඉන්න මම හුස්මගන්නකම්.හ්ම්...මතක්වෙද්දිත් මට ක්ලාන්තයි වගේ.) ආවා ඒ මනුස්සයටම දෙවෙනි නැති තවත් එක්කෙනෙක්.හපොයි දැක්කමත් බය හිතෙනවා.ඔන්න ඉතින් ඒ ආපු මනුස්සයයි අර හිටපු මනුස්සයයි පෙන්නුවේ නැතැ අපිට උල්ම උල් පිහිද  මොනාද මන්දා....හරි හරි බයවෙන්නේ නැතිව හුස්ම ගන්න.මොකද මට ඉස්පිරිතාලේ එන්න බෑ ඔයාලව බැහැ දකින්න.‍(හේ..හේ..) ඔන්න ඉතින් ඊට පස්සේ අපේ අත් පුටුවලට තියලා ගැට ගහලා, කටවල් බැදලා අර ගත්තේ නැතැ අර සල්ලි ටික.හම්මේ..........මම නම් හිටියේ දැන් මැරෙයි දැන් මැරෙයි වගේ.ඇයි අප්පා බයවෙන්නේ නැද්ද..?මම හිතන්නේ ඒ මිනිස්සු අපේ බොස්ටත් වැඩිය හොදට සල්ලි තියපු තැන දැනගෙන හිටියා.කොහොම හරි ඒ මිනිස්සු සල්ලිත් අරගෙන අපිට අලි සද්දෙකුත් දා ගෙන යන්න ගියා.මම නම් දැන් එකම ඇඩිල්ලයි කට බැන්දත්.මොකද මගේ කට බැන්දට අඩන එක නම් මම සුපර් එකටම කරනවා.:D අඩුම තරමින් සල්ලි ටික අරගෙන අපිව මනුස්සකමටවත් මම අහන්නේ ලෙහලා දාලා ගියා නම් නැද්ද..?ඔන්න ඉතින් කොහොම හරි මම දැන් ගිරියටියෙන්ද යටිගිරියෙන්ද කෑ ගගහ අඩනවා.මම ඉතින් අඩන්න දන්නෙත් නෑනේ වැඩිය.:D 

                    
                        ඔන්න එකපාරට වැදුනේ නැතැ ඩෝන් ගාලා පිට හරහා හොද පාරක්......අනේ ඉතින් හැම කතාවක වගේම අවසානේ බලා ගන්න කලින් පැන්නේ නැතැ දුෂ්ඨයෙක්.අපරාදේ මගේ ලස්සන හීනේ..............................

ඔන්න ඉතින් මේ කතාවේ (හීනයේ)අවසානය තමයි නින්දෙන් විලාප දීම නිසා මව්තුමියගෙන් පැණි බේරෙන්න  අත්පහරක් කෑම.......:D

                    ඔන්න ඔන්න දැන් මාව කන්න වගේ බලන් ඉන්නේ නැතිව මොනවා හරි කියන්න ඉතින් මේ ලස්සන හීනේ ගැන.(හේ..හේ..)හැබැයි ඔන්න ඉතින් මේ හීනේ දැක්කේ මම නම් නෙමෙයි.මොකද මට සාමාන්‍යයෙන් නින්ද ගියාම හීන පේන්නේ නැහැ.ඇහැරිලා ඉන්න වෙලාවට තමයි මම ඒකත් බලන්නේ.(හේ..හේ..) හලි හලි මේ ටිකත් බලලම යන්නකෝ.

                    ඔන්න මේ සුන්දර,ලස්සන හරි ඔය මොකක් හරි හීනේ දැක්කේ මගේ ආදරණිය අක්කි යාලු තමයි.එයා ඉතින් මටත් වඩා හොදට හැඬවැඩ දාලා මට හීනේ රඟ දැක්කුවා.ඉතින් ඒ නිසයි මටත් ඒක හැ‍වැඩ දාලා ලියන්න පුළුවන් වුනේ.හැබැයි මට දැන් මගේ අක්කියාගේ නම නම් කියන්න බෑ.දන්න අයත් නොදන්නා ගානට ඉන්නා මෙන් බොහොම කරුණාවෙන් ඉල්ලනවා.මොකද එහෙම නැත්තම් මට ගුටිකන්න වෙන්නේ ප්‍රසිද්ධියෙම තමයි.ඔය ඉදලා හිටලා ගුටියක් දුන්නට මගේ අක්කියා මට හරි ආදරෙයි.අක්කි ගෙදර ගිහිල්ලා හීනෙනුත් මාව දකිනවා කියන එකෙන්ම ඒක ඔයාලටත් හිතාගන්න පුළුවන්නේ දැන්....(ඔන්න දැන් මේක කියවන ගමන් පොඩ්ඩක්වත් එයා මට රවන්නේ නෑ)කොහොමවුනත් ආයේ මතක ඇති කාලේක මට ලස්සන හීනයක් නම් රසවිදින්න වෙන්නේ නැතිවෙයි.මොකද හීන පේන්නේ නැති අසරණ ම‍ට මගේ අක්කියා අයෙත් හීන කියයි කියලා ඔයලා හිතනවද..?කොහොමටවත්ම නෑ.... 

       ඔන්න කලේ ගෙවාගෙන හීනේ බලන්න ආපු ඔයාලට මගේ ප්‍රණාමය..!!‍(හේ..හේ..)



............෴ ..........





                   මේ කතාව ලියලා Draft එකෙත් තියන් ඉදලා ගොඩක් දවසකට පස්සේ හදිස්සියෙම අද publish කරන්නේ මගේ අක්කියාගේ ආසාව නිසාමයි.හිනාවෙවි මේක ලියද්දි නම් හිනෙකින්වත් හිතුවේ නෑ අද වගේ දවසක දාන්න වෙයි කියලා.මොනවා වුනත් හැමදාටම ඔයා මගේ අක්කියා.මේ ඔයාට ඔයාගේ හීනේ මගේ (සිහින සිත්තම්) අක්කියෝ....

 

Thursday, July 26, 2012

නුඹත් ඒ අහස වැනිය...!

තරු ගොන්නක් පිරිවරාගෙන
සඳ එළියත් නතු කරගෙන
මහ අඩම්භරයකින් සිටින
ඒ අහස රජකුමාරයෙක් වැනිය


දහවල් හිරුට අයිතිය කියන
වළාකුළු වලින් හැඩවී සිටින
රුව මහ තේජසකින් පිරුන
ඒ අහස සිංහයෙක් වැනිය


සුළඟ දසඅත නහවගෙන
මහ සද්දෙන් ගොරවගෙන
වැස්සෙන් පොළවම තෙමන
ඒ අහස කුණාටුවක් වැනිය


ජීවිතයම ආදරෙන් පුරෝන
හැම මොහොතෙම මා හිනස්සන
හඬා වැටෙන ම සිත නලවන
අනේ නුඹත් ඒ අහස වැනිය



   
♥♥....................♥♥

Monday, July 23, 2012

සත්තයි...!!


මේ ගල් බැම්ම උඩටවෙලා
හැමදාමත් ආදරෙන් හිඳින්න
හිරුබසින සොඳුරු සැදෑවක
ඔය උණුහුමට තුරුල්වෙන්න
                        සත්තයි ආසයි - මහ හුඟක්

                                
              ඔයාගේ අතින් අල්ලගෙන
              මේ පාර දිගේ ඇවිද යන්න
              ඔයා ලඟින්ම හිදගෙන
              ඔය ඇස් දිහා බලන් ඉන්න
                        සත්තයි පතනවා - මම හැමදාමත්

 
ඔයාගේ හීන වලට ඇවිත්
ඒවගේ දකම් කරන්න
ගෙවෙන හැම මොහොතකම
ඔයා ලඟින්ම දැවටෙන්න
                      සත්තයි ආසයි - මහමෙරක් තරම්

                                 
                මේ මුළු ජීවිතයම
                ඔය පා මුල ගෙවන්න
                පතන හැම පැතුමකම
                ඔය ආදරයම යදින්න
                      සත්තයි ආදරෙයි - ජීවිතේ තියනකම්


 ♥♥............♥♥