Wednesday, August 8, 2012

අමතක නොවන අද වැනි දිනක්...!


කලකින් ලියවුණා අද කවියක්
නුඹ නොදුටු ම සිත නිසාවෙන්
සඟවන්නට හදන හැඟුමන්
එබිකම් කරනවා හද පත්ලෙන්



               සිතුවිලි පටලවමින් කල සිත්තමක්
               පෙන්නුවේ මා නුඹහට ආසාවෙන්
               සිනාවුනා නුඹ දැක එක කවි පදයක්
               එපාවුනා මට මේ කවි හැඟුමන්


පුංචි දේටත් දැනෙන දුකක්
ගේනවා නෙත් කොනට කඳුලක්
නමුදු නුඹේ දඟකාර සිනාවක්
නැති කරනවා ඒ සැම කඳුලක්


           
                අමතක නොවන අද වැනි දිනක්
                ගෙනාවේ ම සිතට නුඹ සතුටින්
                බලාහිඳින්නද මා තව කල්පයක්
                ලැබෙනතුරු නුඹගෙන් තිළිණයන්



♥♥....................♥♥


Tuesday, July 31, 2012

කතාවක් වගේ කතාවක්...!

              ඔන්න අද නම් මම ටිකක් වෙනස් පැත්තකට පැන්නා.හැමදාම මම අඬනවා කියලා ගොඩක් කට්ටිය අහිංසක මගේ සිතුවිලි වල‍ට චෝදනා කරනවානේ.හැබැයි ඉතින් මම නම් සැලෙයි ඔව්වට.(හේ..හේ..)ඒ වුනාට මම අද පොඩි කතාවක් කියන්නම් අහන්ඉන්නකෝ.නෑ නෑ වැරදුනා බලන්ඉන්නකෝ...මෙන්න මේකයි පොඩි සිද්දියක්.පොඩි කිව්වට පොඩිද මන්දා.හරි හරි බලන්නකෝ.බැරිවුනත් අමාරුවෙන් හරි බලන්නකෝ.(හේ..හේ..)

           ඔන්න එක දවසක් අපේ ඔෆිස් එකේ පොඩි සිද්දියක් වුනා.අපි ඉතින් කරන්නේ ග්‍රැප්ෆික් වැඩකිඩ තමයි.ඉතින් මම මේ කියන්න යන දවසේත් අපි සුපුරුදු පරිදි වැඩ කර කර තමයි හිටියේ.(වැඩ අස්සේ පිස්සු නටන එකත් අපේ එක රාජකාරියක් තමයි.මොකද ඉතින් ටිකක් දැඟලුවේ නැත්නම් අපිට උණ වගේනේ.:D ඒ වුනාට අපි ඉතින් හරි හොද ළමයි.) ඔන්න ඉතින් වෙනදා වගේම කස්ටමස්ලා එක්කෙනා දෙන්නා ඉතින් එනවා හෝ ගාලා එයාලගේ වැඩ ටික කර ගන්න.අපිටත් ඉතින් කාගෙවත් වෙනසක් පෙනුනේ එහෙම නැති නිසා සුපුරුදු පරිදි වැඩ කරගෙන ගියා.

             හැමදාම උදේට බැංකුවට සල්ලි දාන්න අපේ බොස් පුරුදු වෙලා ඉන්නවා.ඒකට ඉතින් වෙනම ළමයෙකුත් අරගෙන තමයි ඉන්නේ.හැබැයි මම ඔන්න ඔය කියන දවසේ ඒ ළමයට අසනීප වෙලාද වෙන මොනවා හරි වෙලාද මන්දා ඔෆිස් ආවේ නම් නැහැ.හපොයි දැන් ඉතින් ඉවරනේ....කවුද දැන් බැංකු යන්නේ....ඔන්න ඉතින් ප්‍රශ්නේ..? කොහොම හරි බැංකු යවන්න කියලා කෙනෙක් නම් ඔෆිස් එකේ හිටියේ නැහැ.ඒක නිසා එදා අපේ බොස් සල්ලි බැන්ක් එකට දාන වැඩේ පහුවදාට කල්දාලා එයත් සුපුරුදු පරිදි එයාගේ වැඩවලට එළියට ගියා.අවසානෙට ඉතින් වැඩ කරන අපි තමයි ඉතුරුවුනේ.

               හරි හරි නිදිකිරා වැටෙන්න එපා දැන් තමයි හොදම හරිය පටන් ගන්නේ.අහල පහල තියන වතුර ටිකක් අරගෙන මුණ ටිකක් තෙමා ගන්නකෝ ඔය නිදිමද ගතිය යන්න.:D හරි එහෙනම් ඇස් ගෙඩි දෙක එළියට දාගෙන දැන් බලන්නකෝ ඉතුරුටික.(හේ..හේ..) ඔන්න ඉතින් දැන් මං ගාව ඉන්නවා කස්ටර්ම කෙනෙක්.අම්මෝ...මේන් මෙන්න විතර ඇති.අලිපත කළුම කළු බඩ මහත මෑන් කෙනෙක්.දැක්කාම උණ ගැණුනා මට නම්....ඒ තරමට බයංකර, බියකරු ඔය මොන මොනාදෝ පෙනුමක් තිබුනේ.:D 

               
                    හලි හලි පොඩ්ඩනේ ට්‍රැක් පැන්නේ ඕකට ඉතින් අපේ නෑ සනුහරේ මතක් කරන්න ඕනේ නෑ....හරි බලන්නකෝ.....ඔන්න ඉතින් දන්න ශිල්ප ඔක්කොම දාලා මම ආර්ට් වර්ක් එක හදලා ඉවර කලා.මේ මනුස්සයත් අනිත් කස්ටර්මලා වගේම කිසිම වෙනසක් නැතිව අරෙහෙමයි මෙහෙමයි කියලා ආර්ට් වර්ක් එක ඕකේ කරලා ටිකක් ඉන්න කියලා පැත්තකට ගිහින් ෆෝන් එකෙන් මොන මොනවදෝ කා එක්කද කියවනවා.මෙයා ලෑස්ති වෙන්නේ ආයෙත් යන්නේ නැතිව මාව කන්න තමයි කියලා මට හිතුන නිසා බොහොම වීනිතව හිතින් මෙයාගේ ඥාතීන්ව මතක් කර කර මම හිටියා.ඇයි ඉතින් ආපු වැඩේ කරගෙන අහිංසක මට ටිකක් නිවිහැනහිල්ලේ බ්ලොග් එකක්වත් කියවන්න දුන්නා නම් මේ මනුස්සයට පවු සිද්ධවෙනවද මම අහන්නේ..?හරි හරි ඉතින් ඔයාලත් මට රවන්න එපා.:D 

                 ඔන්න ඉතින් ටික වෙලාවකින්.....................(අනේ පොඩ්ඩක් ඉන්න මම හුස්මගන්නකම්.හ්ම්...මතක්වෙද්දිත් මට ක්ලාන්තයි වගේ.) ආවා ඒ මනුස්සයටම දෙවෙනි නැති තවත් එක්කෙනෙක්.හපොයි දැක්කමත් බය හිතෙනවා.ඔන්න ඉතින් ඒ ආපු මනුස්සයයි අර හිටපු මනුස්සයයි පෙන්නුවේ නැතැ අපිට උල්ම උල් පිහිද  මොනාද මන්දා....හරි හරි බයවෙන්නේ නැතිව හුස්ම ගන්න.මොකද මට ඉස්පිරිතාලේ එන්න බෑ ඔයාලව බැහැ දකින්න.‍(හේ..හේ..) ඔන්න ඉතින් ඊට පස්සේ අපේ අත් පුටුවලට තියලා ගැට ගහලා, කටවල් බැදලා අර ගත්තේ නැතැ අර සල්ලි ටික.හම්මේ..........මම නම් හිටියේ දැන් මැරෙයි දැන් මැරෙයි වගේ.ඇයි අප්පා බයවෙන්නේ නැද්ද..?මම හිතන්නේ ඒ මිනිස්සු අපේ බොස්ටත් වැඩිය හොදට සල්ලි තියපු තැන දැනගෙන හිටියා.කොහොම හරි ඒ මිනිස්සු සල්ලිත් අරගෙන අපිට අලි සද්දෙකුත් දා ගෙන යන්න ගියා.මම නම් දැන් එකම ඇඩිල්ලයි කට බැන්දත්.මොකද මගේ කට බැන්දට අඩන එක නම් මම සුපර් එකටම කරනවා.:D අඩුම තරමින් සල්ලි ටික අරගෙන අපිව මනුස්සකමටවත් මම අහන්නේ ලෙහලා දාලා ගියා නම් නැද්ද..?ඔන්න ඉතින් කොහොම හරි මම දැන් ගිරියටියෙන්ද යටිගිරියෙන්ද කෑ ගගහ අඩනවා.මම ඉතින් අඩන්න දන්නෙත් නෑනේ වැඩිය.:D 

                    
                        ඔන්න එකපාරට වැදුනේ නැතැ ඩෝන් ගාලා පිට හරහා හොද පාරක්......අනේ ඉතින් හැම කතාවක වගේම අවසානේ බලා ගන්න කලින් පැන්නේ නැතැ දුෂ්ඨයෙක්.අපරාදේ මගේ ලස්සන හීනේ..............................

ඔන්න ඉතින් මේ කතාවේ (හීනයේ)අවසානය තමයි නින්දෙන් විලාප දීම නිසා මව්තුමියගෙන් පැණි බේරෙන්න  අත්පහරක් කෑම.......:D

                    ඔන්න ඔන්න දැන් මාව කන්න වගේ බලන් ඉන්නේ නැතිව මොනවා හරි කියන්න ඉතින් මේ ලස්සන හීනේ ගැන.(හේ..හේ..)හැබැයි ඔන්න ඉතින් මේ හීනේ දැක්කේ මම නම් නෙමෙයි.මොකද මට සාමාන්‍යයෙන් නින්ද ගියාම හීන පේන්නේ නැහැ.ඇහැරිලා ඉන්න වෙලාවට තමයි මම ඒකත් බලන්නේ.(හේ..හේ..) හලි හලි මේ ටිකත් බලලම යන්නකෝ.

                    ඔන්න මේ සුන්දර,ලස්සන හරි ඔය මොකක් හරි හීනේ දැක්කේ මගේ ආදරණිය අක්කි යාලු තමයි.එයා ඉතින් මටත් වඩා හොදට හැඬවැඩ දාලා මට හීනේ රඟ දැක්කුවා.ඉතින් ඒ නිසයි මටත් ඒක හැ‍වැඩ දාලා ලියන්න පුළුවන් වුනේ.හැබැයි මට දැන් මගේ අක්කියාගේ නම නම් කියන්න බෑ.දන්න අයත් නොදන්නා ගානට ඉන්නා මෙන් බොහොම කරුණාවෙන් ඉල්ලනවා.මොකද එහෙම නැත්තම් මට ගුටිකන්න වෙන්නේ ප්‍රසිද්ධියෙම තමයි.ඔය ඉදලා හිටලා ගුටියක් දුන්නට මගේ අක්කියා මට හරි ආදරෙයි.අක්කි ගෙදර ගිහිල්ලා හීනෙනුත් මාව දකිනවා කියන එකෙන්ම ඒක ඔයාලටත් හිතාගන්න පුළුවන්නේ දැන්....(ඔන්න දැන් මේක කියවන ගමන් පොඩ්ඩක්වත් එයා මට රවන්නේ නෑ)කොහොමවුනත් ආයේ මතක ඇති කාලේක මට ලස්සන හීනයක් නම් රසවිදින්න වෙන්නේ නැතිවෙයි.මොකද හීන පේන්නේ නැති අසරණ ම‍ට මගේ අක්කියා අයෙත් හීන කියයි කියලා ඔයලා හිතනවද..?කොහොමටවත්ම නෑ.... 

       ඔන්න කලේ ගෙවාගෙන හීනේ බලන්න ආපු ඔයාලට මගේ ප්‍රණාමය..!!‍(හේ..හේ..)



............෴ ..........





                   මේ කතාව ලියලා Draft එකෙත් තියන් ඉදලා ගොඩක් දවසකට පස්සේ හදිස්සියෙම අද publish කරන්නේ මගේ අක්කියාගේ ආසාව නිසාමයි.හිනාවෙවි මේක ලියද්දි නම් හිනෙකින්වත් හිතුවේ නෑ අද වගේ දවසක දාන්න වෙයි කියලා.මොනවා වුනත් හැමදාටම ඔයා මගේ අක්කියා.මේ ඔයාට ඔයාගේ හීනේ මගේ (සිහින සිත්තම්) අක්කියෝ....

 

Thursday, July 26, 2012

නුඹත් ඒ අහස වැනිය...!

තරු ගොන්නක් පිරිවරාගෙන
සඳ එළියත් නතු කරගෙන
මහ අඩම්භරයකින් සිටින
ඒ අහස රජකුමාරයෙක් වැනිය


දහවල් හිරුට අයිතිය කියන
වළාකුළු වලින් හැඩවී සිටින
රුව මහ තේජසකින් පිරුන
ඒ අහස සිංහයෙක් වැනිය


සුළඟ දසඅත නහවගෙන
මහ සද්දෙන් ගොරවගෙන
වැස්සෙන් පොළවම තෙමන
ඒ අහස කුණාටුවක් වැනිය


ජීවිතයම ආදරෙන් පුරෝන
හැම මොහොතෙම මා හිනස්සන
හඬා වැටෙන ම සිත නලවන
අනේ නුඹත් ඒ අහස වැනිය



   
♥♥....................♥♥

Monday, July 23, 2012

සත්තයි...!!


මේ ගල් බැම්ම උඩටවෙලා
හැමදාමත් ආදරෙන් හිඳින්න
හිරුබසින සොඳුරු සැදෑවක
ඔය උණුහුමට තුරුල්වෙන්න
                        සත්තයි ආසයි - මහ හුඟක්

                                
              ඔයාගේ අතින් අල්ලගෙන
              මේ පාර දිගේ ඇවිද යන්න
              ඔයා ලඟින්ම හිදගෙන
              ඔය ඇස් දිහා බලන් ඉන්න
                        සත්තයි පතනවා - මම හැමදාමත්

 
ඔයාගේ හීන වලට ඇවිත්
ඒවගේ දකම් කරන්න
ගෙවෙන හැම මොහොතකම
ඔයා ලඟින්ම දැවටෙන්න
                      සත්තයි ආසයි - මහමෙරක් තරම්

                                 
                මේ මුළු ජීවිතයම
                ඔය පා මුල ගෙවන්න
                පතන හැම පැතුමකම
                ඔය ආදරයම යදින්න
                      සත්තයි ආදරෙයි - ජීවිතේ තියනකම්


 ♥♥............♥♥

Wednesday, July 18, 2012

එපා එපා මේ ජීවිතය...!


හිරු බසිනා සොඳුරු සැදෑවක
මුහුදු වෙරළේ අපේ මතකය
ගසාගෙන ගියේ දිය රැල්ලක
පෙන්වමින් අපේ අවසානය


දෑගිලි පටලවා සිටි යුවලක්
දුටුව නිසා ආදරෙන් සිටිය
කලකට පසු සිත කොනක
අවදිවුනා ආයෙත් මතකය


එදා අප හිඳගෙන මේ ගලක
පෙම්බස් දෙඩෙව්වා මිහිරිය
නමුදු මා තනිව මුහුදු වෙරළක
කදුළු සලනවා දැන් අමිහිරිය


සමහරු කියයි මානසික ආතතියක
පෙලෙනවළු දැන් මගේ ජීවිතය
එය ඇත්තක්ම බව මට විටක
සිතෙනවා දුටුවිට මගෙම රූපය


අනේ නොපෙනේ මරණයවත් ලඟක
එයටවත් පිනක් මට තව නොමැතිය
දැනෙනවා දැන් මට හැම සිතුවිල්ලක
තවනම් එපා එපා කියා මේ ජීවිතය
  
 ♥♥............♥♥ 

 

Saturday, July 14, 2012

දැනෙනවද ඔයාට..??

                        
                 මේ පොද වැස්සේ තෙමි තෙමි ජිවිතේ සැහැල්ලු කර ගන්න මම ගොඩක් වෙලාවට උත්සහ කරනවා.එක මොහොතකට එක තප්පරේකට හැමදේකින්ම මිදිලා අලුත් වෙන්න මම දැන් ගොඩක් ආසයි.එත් දන්නවද..? අද මට කරන්න බැරිව ලතවෙන එකම දේත් ඒකම විතරයි.මේ බැඳීම් වලින් සිතුවිලි වලින් එහාට ගිහින් ජිවත් වෙන්න මට හුඟක් ආසයි.ඉස්සර වගේ සැහැල්ලුවෙන් ඉන්න ආසයි.ගෙවුන ඒ අතීතය හිතෙන් එළියට ඇදලා දලා අනාගතේ දිහා බලන්න ආසයි.ඔව්., ඇත්තමයි මේ හැම ‍දේකින්ම ඈත් වෙන්න ඕනේ.හැබැයි ඒ ඔයත් එක්ක තියන තරහකට නෙවෙයි.ඔයාට ආදරේ නැති නිසත් නෙමෙයි.මට මේ ජිවිතේ තවත් විඳවන්න බැරි නිසයි.දන්නවද..? අඬලා අඬලා දැන් මේ ඇස්වල කදුළුත් නැති තරම්.ඒ තරමටම මම අඬලා අඬලා හෙම්බත් වෙලා ඉන්නේ.මට තවත් මේ විදිහට ජිවත් වෙන්න නම් බැහැ.ඒත් මම මොකද කරන්නේ..?ඔයා තරමටම ඔයා මට දීපු මේ ආදරෙත් හුඟක් මුරණ්ඩුයි.කොච්චර කන්නලව් කලත් මේ හිතින් ඔයාගේ ආදරේ දශමයක් තරමටවත් අඩුවෙන්නේ නැහැ.මේ ආදරේ මතක මට ඔයාව අමතක කරන්න දෙන්නේ නැහැ.

                   හැම දුකක්ම මම ඉතිරි කරගෙන ඔයාට සතුට දුන්නා.ඒ ම‍ගේ ජිවිතේ ඔයා නිසා.ඒත් දැන් මේ පුංචි හිතට ඒ දුක බර වැඩි.ඔව්., මහ හුගක් බර වැඩියි.ඒත් මම ගොඩක් අසරණයි.ඔයා මාව තනි කලාට මේ දුක, මේ මතක මාව තනි කරලා දාන්නෙම නැහැ.හැම මොහොතකම මගේ පස්සෙන්ම වැටිගෙන මම යන හැම තැනකටම එනවා.ලෝකෙට පේන්න හිනාවෙන, කතාකරන මම මේ හිතින් අඬන තරම ඔයා දන්නේ නැහැ.සමහර පුංචි පුංචි දේවල් නිසා ඔයාව මතක් වෙද්දි මට මාවම එපා වෙනවා.ඒ වෙලාවට හැමදේකටම සමුදීලා මේ ජිවිතයෙන් යන්න හිතෙන වාර අනන්තයි.ඒත් ඒ තරම් හයියක් මේ පුංචි හිතට නැහැ.ඒ නිසා අමාරුවෙන්වුනත් හැමදෙයක්ම දරාගන්නවා.මොකද දරාගන්න හිතන්නවත් බැරි දෙයක් මම ඔයාගේ සතුට වෙනුවෙන් දරා ගත්තා.ඒ ඔයාව සදහටම වෙන පුදසුනකට පුජා කරලා.ඔව්., මගේ ආදර මල වෙන පුදසුනකට මම පුජා කරලා.ඒ තරම් දෙයක් දරා ගත්ත මට මේ දේවල් මොනවද..? මෙහෙම හිතලා තමයි මං මාව පාලනය කරගන්නේ.

                         ආයේ මේ ජිවිතේ කවමදාවත් ඔයා ලඟට වෙලා ඔය ආදරේ ලබන්න මට වාසනාවක් නැති බව මම හොදටම දන්නවා.වචනෙකින්වත් ඔය නම කියන්න තරම්වත් මට අයිතියක් නැති බවත් මම හොදහැටි දන්නවා.ඔයාව අසරණ නොකර ඔයාගෙන් ඈතට ගියේ කවමදාවත් නොලැබෙන ආදරේ ගැනත් දැන දැනමයි.මේ ඇත්ත මට නොතේරෙනවා නෙමෙයි.අනේ ඒත් ඔය කිසිම දෙයක් මගේ මේ මුරණ්ඩු හිත තාමත් පිළිගන්නේ නැහැ.මේ මුරණ්ඩු හිත නිසා මම අසරණ වෙලා ඉන්න තරම අනේ ඔයා දන්නවා නම්..........


හැම මොහොතකම හිතෙන්නේ නුඹේ මුණ බලන්න
එකම එක තප්පරේකටවත් නුඹත් එක්ක දොඩමළු වෙන්න
නුඹ ලඟට වෙලා හැමදාම ඔය හිතට එබිකම් කරන්න
කථා කරන ඔය ඇස් දිහා බලන් ඉන්න
තරහා ගිය ඔයාගේ ලඟින් ඉඳන් හිනස්සන්න
ලඟට වෙලා ඔය දඟකාර රූපෙට ලෝබකම් කරන්න
දකින දකින හැම සිහිනෙම නුඹව දකින්න
ඔයා ලගින් ඉඳන් මේ පොද වැස්සට තෙමෙන්න
ගැහෙන සීතලේ නුඹේ උණුහුමට තුරුල්වෙන්න
හිත පිරෙනකම් නුඹටම ආදරේ කරන්න
ගෙවුන ඒ ලස්සන මතකයේ ආයෙමත් ඇවිද යන්න
අනේ ලැබුණ නම් මට ඔයාගෙම වෙන්න
කියන්න,
                   කියන්න,
මගේ මේ අහිංසක සිතුවිලි දැනෙනවද ඔයාට..??
  
............෴ ..........


බස් රේඩියෝ බ්ලොග් සතිය

 

Wednesday, July 11, 2012

අහිමි බිය...!


සිහිනයක් දකිනවා 
සැබෑවක් නොවනා
අවදිවන්නත් නොහැකිය 
ඔබ සිටින නිසා

ඔය ලයෙහි මුව හොවා
 පුංචි මුවැත්තියක් සේ 
ඔබ අසලින් සි‍ටින නිසා
ඔය සුරතෙහි දැවටි 
ලඟින් සිට ආදරයෙන්
 හද මත් වු නිසා

වෙන්ව නොයන්න 
ලං වෙන්නට ඕනා
තවකෙකු ඔබ වෙත 
ලං වේ දැයි හිත බිය නිසා

නමුදු,
.
.
.
.
කිසිදින ඔබ හිමි නොවනා 
මෙය සිහිනයක්ම වුනා
ඇසිපිය හැරියොත් 
යතාර්ථය පෙනෙන නිසා
සදාතනිකව ඇසිපිය 
නොහරින්න වුනා

ඔබ අහිමි වේ යැයි හැඟුන නිසා....

♥♥............♥♥