කොහොම ලියන්නද කොහොම පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ මටම.ඒ තරමටම අද මගේ හිත සිතුවිලි වල අතරමන් වෙලා. අමතක නොවන මතක ගොන්නක මම හිරවෙලා.කොච්චර අමතක කරන්න හැදුවත් ඒ මතක හිතට එබිකම් කරන එක නවතින්නෙම නෑ.ගොඩක් සතුටින් සැහැල්ලුවෙන් හිටපු හිත අද මහ බරක් හිතේ තද කරන් විඳවනවා.මේ හැගීම් වල නිමාවක් මට දකින්න ඕන වුනත් ඒක කරන්න බෑ.ඔව්.., මම හිතන්නේ සමහර විට මට කවදාවත්ම මේ මතකයෙන් නම් ගැලවීමක් නැතිවෙයි.....
හවස වැඩ ඇරිලා ගෙදර යන්න බස් එකට නගින්න ගියේ මම හරිම කම්මැලිකමේ.මොකද වෙනදා වගේ පිස්සුවක් නට නටා යන්න මගේ අතිජාත මිත්‍රයා හිටියේ නෑ.මගේ මේ අතිජාත මිත්‍රයා තමයි හිරුණි.අද ටිකක් සනීප නැතිව වේලාසන ගෙදර ගියා.හිරුණි මමයි පොඩි දවස් වල ඉදලම යාළුවෝ.කොටින්ම කියනවා නම් දනගාන කාලේ ඉදන්ම...කොහොම හරි කම්මැලිකමේ බස් හෝල්ට් එකට ඇවිත් බස් එක එනකම් මම හිටගෙන ඉද්දි කොණ්ඩෙත් අත් දෙකෙන් හද හදා පාරෙන් එහා පැත්තේ ඉඳන් එන ඒ රූපේ මම දැක්කේ හරියට විදිල්ලක් එනවා වගේ.පුදුම හදිස්සියක් ඒ ගමනේ තිබුණේ.කවුරුවත් හිටියේත් නෑ බස් හෝල්ට් එකේ ඒ වෙලාවේ. හිටියේ අපි දෙන්නා විතරමයි.මමත් ඉතින් ටිකක් හොරෙන් හොරෙන් බැලුවා ඒ මුණ දිහා.ඒත් ඒ අහංකාර ඇස් නම් මං දිහා එක තප්පරේකටවත් බැලුවේ නැහැ.ටික වෙලාවකින් එන බස් එකකට මෙයා එකපාරට අත දැම්මා.බස් එකට නගින්න යද්දිම මෙන්න මෙයා මං දිහා බලලා හිනාවක් දාගෙන ගියා....
"පිස්සු කොල්ලෙක්...මෙච්චර වෙලා අහංකාරයා වගේ ගනන් උස්සන් අහක බලන් ඉදලා දැන් හිනා වෙලා යනවා..හරි ඒත් මට මොකද ඒ මෝඩයා මොනවා කලත්..මම මොකටද පිස්සෝ ගැන හිතන්නේ..?"
ඒ වෙලාවේ මගේ යටිහිත මටම එහෙම කිව්වා.ඊට පිටිපස්සෙන් ආව බස් එකේ නැගලා මමත් සුපුරුදු පරිදිම යන්න ගියා.හැබැයි මගේ හිත තිබුණේම අර අහංකාර හිනාව ලග නැවතිලා.නැත්තම් ඉතින් කොන්දොස්තර ලගට ඇවිත් ටිකට් එක දික් කරන් ඉද්දි මම අහක බලන් ඉදීවි ද..?ඇත්තටම ඒකට නම් මට ලැජ්ජ හිතුනා.ඒත් ශේප් එකේ සල්ලි දීලා ටිකට් එක ඉල්ලන් හොදට කල්පනාවෙන් ඉදලා බස් එකෙන් බැහැ ගත්තා.ඒත් ගෙදරට එනකනුත් ඇවිල්ලත් මම හිටියේ කොහෙද ලෝකෙක අතරමං වෙලා.ඇත්තටම කිව්වොත් ඒ අහංකාර හිනාව ලග මම අතරමං වෙලයි හිටියේ.දැන්නම් එයාට පිස්සු කොල්ලෙක් කිව්වට මටයි පිස්සු හැදිලා තිබුනේ.
"සුදු දු...ඔයා මොකද ඔය ආපු වෙලේ ඉදන් ඇදට වේගන කරන්නේ..?නැගිටලා මෙහෙට එන්න මේ හිරුණි ළමයත් ඇවිල්ලා...."
ආපු වෙලාවේ ඉදන් මනෝ පාරක් දාගෙන හිටපු මම අම්මා කෑ ගහද්දි තමයි පියවි සිහියට ආවේ.ඔන්න එතකොටයි මට මතක් වුනේ හිරුණිව බලන්න ගියෙත් නෑ නේද..? කියලා.දැන්නම් ඉතින් කනක් ඇහිලා ඉදලා ඉවරයි.
"අනේ අම්මා මම පොඩි වැඩක්..හිරුට කියන්න මෙහෙට එන්න කියලා...."
එහෙම කියාගෙන ඇදෙන් බිමට පැනලා ටක් ගාලා පොතකුත් අරගෙන ආයෙම ඇදට වැටුනා.නැත්තම් ඉතින් නිදහසට කියන්න කාරනෙකුත් නැතිව යනවනේ..
"අනේ...යසයි මෙයාගේ තරම..මෙයා මෙතන සැපට පොත් බල බල ඉන්නවා..නිකමටවත් එන්න බෑ මාව බලන්න..අසනීප වුනත් මම ආවා මෙයා ගෙදර ඇවිත්ද බලන්න..අම්මපා මෙහෙම පාප මිත්‍රයෙක් තියන් ඉන්නවට මට ගහන්න ඔනා...."
හරි හිතුවා වගේම ඔන්න මට වැඩේ සෙට්වුනා.ඒත් ඉතින් පොඩි චාටුවක් දාලා හිරුව නම් යාලු කර ගත්තා.තරහා වෙවි යාලු වෙන එක ඉතින් අපි දෙන්නගේ පුරුද්දක්.ඒ මොනවා වුනත් මට හිරුණි ඉස්සරහ වෙච්ච දේ හංගගෙන කථා කරන්න බැරි නිසාම යාලුවෙක්ටත් සහොදරයෙක්ටත් හිටිය හිරුණිට මම සිද්ධිය නම් කිව්වා....
ඒ සිද්ධිය වෙලානම් අදට අවුරුදු දෙකක් විතර වෙනවා.ඒ අහංකාර හිනාව ලඟ මගේ ජිවිතේ නවතී කියලවත් නැත්නම් ඒ පිස්සු කොල්ලා මගේ එකම ආදරේ වෙයි කියලවත් මට හීනෙකින්වත් හිතුනේ නැහැ.එදා ඒ හමුවීමෙන් පස්සේ අපි පුරුද්දකට වගේ හැමදාම මුණ ගැහුණා.මට එයාවවත් එයාට මාවවත් නැතිව බැරි තරමට අපි අතරේ මහ ලොකු බැදීමක් ඇතිවුණා.හැබැයි කවමදාවත් එයාවත් මමවත් ඒ බැදීමට නමක් හොයන්න ගියේ නැහැ.හැබැයි හැමදාම තොර තෝංචියක් නැතිව බැණුම් කන්දරාවක් නම් මම මේක නිසා හිරුණිගෙන් අහගන්නවා.මම විතරක් නෙමේ එයත් එයාගේ යාලුවා ශාන්ගෙන් කප්පරකට බැනුම් අහනවා.අයියෝ මම හැමෝගෙම නම් කියනවා.තාම එයාගේ නම කියා ගන්න බැරිවුනානේ.ඔන්න අහගන්නකෝ එහෙනම් එයාගේ නම තමයි ශෙහාන්.ඔව් මගේ ඒ පිස්සු කොල්ලගේ නම ශෙහාන්.ඔය විදිහට කොහොම හරි අපේ ජිවිත ඔහේ අවුරුද්දක් වෙනකනුත් ගලාගෙන ගියා.
එක දවසක් අපි කට්ටියම කතා වෙලා බීච් ගියා.කට්ටියම කිව්වට අපි හතර දෙනා විතරයි ඉතින්.කොහොමටත් මම කැමතිම දෙයක් තමයි මුහුද ලඟට වෙලා ඉදගෙන ඉන්න එකනම්.ඊටත් මම එයා ලඟට වෙලා ඉන්න නම් හිත ඇතුලෙන් මහ හුගක් පැතුම් පුරවගෙන ආසාවෙන් හිටියේ.ඒ ආසාව මෙහෙමයි කියලා මට වචන වලින් නම් කියන්න බැහැ.ඇත්තමට මම එහෙම කියන්න ඔනිත් නැහැ.ඔයාලට ඒ හැගිම අත්දැකීමෙන්ම දැනෙනවා ඇතිනේ.එහෙම නේද..? ඉතින් එදා මම බීච් ගියේ නම් ආදරයක් පිරුණු හිතක ඇතිවෙන අහිංසක හැගිම් ගොන්නක් එක්ක.
ඇත්තටම එදා හරිම ලස්සන දවසක් වගේම මහ එපාම කරපු දවසක්.පැය ගානක් ඇතුලත මුළු ජිවිතයම විදින්න තරම් මම වසනාවන්තියක් වුනා.ඒ වගේම තප්පර කිහිපයක් ඇතුලත ඒ ජීවිතේ නැති වෙන්න තරම් මම කාලකන්නියකුත් වුනා.ජීවිතේ ගැන මෙහෙමයි කියලවත් හරිහැටි අවබෝධයක් තිබුණ නම් මම මේ ආදරේ කියන අකුරු තුනට යටවෙන්නේ නැහැ.නමුත් අම්මා තාත්තාගේ ආදරේට හුරතලේට හැදුණ වැඩුණ මම මේ ලෝකේ ගැන මහ ලොකු දෙයක් දැනගෙන වුන්නේ නෑ.ඒ නිසා ජිවිතේ ගැන වගේම ආදරේ දිහා බැලුවෙත් බොලඳ ඇස් දෙකකින්.(ඔන්න අහනවා එහෙම නෙමෙයි බොලඳ ඇස් කියන්නේ මොනාද කියල නම්) එදා මාවයි එයාවයි තියලා ශානුයි හිරුයි ගියා කන්න මොනවා හරි ගේන්න කියලා.අපි දෙන්නත් ඉතින් ඔහේ කයියකට වැටිලා කියව කියව හිටියා.අපිටද ඉතින් කතා කරන්න දේවල් නැත්තේ.නැතත් ඉතින් කියවනවා.කටට නම් නිවනක් ඇත්තෙම නෑ.
"අනේ පුංචි උදව්වක් කරන්නකෝ....කෝ ඉතින් පුළුවන්ද කියන්නකෝ..??"
එකපාරට හිටි හැටියෙම ශෙහාන් එහෙම අහද්දි නම් මම බය වුනා.ඒත් ඉතින් ඔන දෙයක් කියලා මමත් ඒ මුණට එබෙන ගමන්.......
"හරි ඉතින් කියන්නකෝ ඔන උදව්ව මොකක්ද කියලා...."
"මගේ මේ අහිංසක කන් දෙක ගැන හිතලා ටිකක් ඔය කච කච මල්ල වහගෙන ඉන්න පුළුවන්ද...??"
"ඔයා නම් මහම මහ මෝඩයෙක්..ඇත්තමයි ආයේ නම් මම ඔයත් එක්ක කතා කරන්නෙම නෑ..යනවා යන්න පිස්සා..මම තරහම තරහයි ඔයත් එක්ක..."
එහෙම කිව්වට තරහ ගියේ නම් නෑ.තවත් මම ඒ ඇස් ඉස්සරහා අසරණවුනා විතරයි.මම ඒ දඟකාරකමට කොච්චර නම් ආදරේ කලාද...? ඒ වෙද්දිත් මගේ මුළු ජීවිතේම මම ඒ පය පා මුල තියලයි තිබුනේ.වෙනසකට තිබුනේ කටින් කියා ගන්න බැරිව ලතවුන එක විතරයි.
අනේ එක පාරක් මගේ දිහා බලලා ආදරෙයි කියන්න...තව නම් බෑ මට ඉවසගෙන ඉන්න...ඔයා දන්නවා නම් මේ හිත ඔයා වෙනුවෙන් මැරෙන තරම...මට පුළුවන් වුනානම් මම ඔයාට විතරක් නෙමෙයි මේ මුළු ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා කියනවා මේ හිත ඇතුලේ තද කරන් ඉන්න ආදරේ ගැන...ඇත්තමයි සත්තයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි කියාගන්න බැරි තරමට මම ඔයාට ආදරෙයි...!!!
"ආ කොහෙද ඒ පාර දුර ඈතකට ගියේ මගේ පැංචි..අනේ ඉතින් කතා කරන්නකෝ..මම පොඩි විහිළුවක්නේ කලේ..දන්නවද ඔය කච කච පෙට්ටිය වහලා තියෙද්දි මට කොච්චර පාළුද කියලා..??"
අනේ ඒක කිව්ව තාලේට නම් මම පිස්සු වැටුනා.කටින් නොකිව්වත් ඒ ඇස්වල තිබුණ ආදරේ මම හොදටම දැක්කා.මොහොතකට හරි අපිට අපේම වෙන්න වාසනාවක් තිබුණා.ඒ හිනාව ඒ ඇස් මගේ මුළු ජීවිතේම වෙනමම ලෝකේකට අරං ගියා....
ඒ විදිහට ඒ ලස්සන ආදරේ වැඩි වෙලාවක් යන්නේ නැතිවම මහ අඳුරු වළාවක් ඇවිත් වහ ගත්තා.
ඒ විදිහට ඒ ලස්සන ආදරේ වැඩි වෙලාවක් යන්නේ නැතිවම මහ අඳුරු වළාවක් ඇවිත් වහ ගත්තා.
"ශෙහාන් අයියා ඔයා මෙතන..අනිත් එක මේ මේ............."
"අහ්...පියු ඔයා..අද වෙලස්සන ඕෆ් වුනාද..?මම එන්නයි හිටියේ ඔයාව ගන්න..මම මේ ශානත් එක්ක ආවේ අනේ..කන්න මොනවා හරි ගේන්න කියලා ඌ කඩේට ගියා....."
වෙන්නේ මොනාද කියලා හිතා ගන්න බැරිව මම ඔහේ බලාගෙන හිටියා.මම ඒ ගර්ල්ව කවදාවත් දැකලා නම් තිබුනේ නැහැ.ජිවිතේ කිසිම රහසක් තියන් හිටිය නැති අපි අතරට මේ පාත්වුන මරාලේ ගැන මම පුදුම වෙන එක පුදුමයක් නෙමෙයිනේ.මම ඉන්නවද නැද්ද කියලවත් ගානක් නැතිව එයා අර ගර්ල් එක්ක කතා කරනවා.හැබැයි ඒ කතා කරන විදිහට මට ඒ දෙන්නගේ සම්බන්දේ මොනවගේ එකක්ද කියල නම් තේරුනා.ඒත් තවමත් මගේ හිත හිටියේ ඒ දේ පිළිගන්න කැමැත්තක් නැතුවමයි.ඉතින් එයාලා කතා කරලා මගේ ලගට එනකම්ම මම එහෙම්මම වාඩිවෙලා බලාගෙන උන්නා.හැබැයි ඒ මොහොතේ මට දැනිච්ච අසරණකම ගැන නම් මම ඔයාලට අමුතුවෙන් කියන්නේ නැහැ....
"මාෂි.........මාෂි.........."
කතා කරන්න තියා බලන්නවත් බැරුව හිටිය මම මවා ගත්ත හීන් හිනාවක් එක්කම එයාලා දිහා බැලුවා.කොච්චර දුකක් හිතේ තිබුණත් ඒ දුකටත් වඩා ආදරේ වැඩි නිසා වෙන්න ඇති මට ඒ ගර්ල් ඉස්සරහ වෙනසක් පෙන්නලා ප්‍රශ්නයක් ඇති කරන්න ඔන වුනේ නැහැ.මම තරමටම එයත් අසරණ වෙලා හිටියා කියලා මම ඒ ඇස් දිහා බලද්දි හොදටම දැක්කා.ඒත් මම ඒ ඇස් දිහා බලලා ඉල්ලුවේ එකම දෙයයි.ඒ මාව තවත් අසරණ කරන්න එපා කියලා...
"මට ඔයාට කියන්න බැරි වුනානේ මාෂි...මේ පියුමි...අපි ලඟදි මැරි කරන්න ඉන්නේ..........."
ඒ මොහොතේ කඩාගෙන වැටුන මගේ ලෝකය නම් අදටත් තවමත් මම හොයනවා.ඒත්..........
සිත ඇඳුනේ නුඹේ දිදුලන දෑස වෙතට
මතකයි තවමත් නුඹේ දඟකාර බැල්ම
නිදන්නට නොදි සිහිනෙනුත් වදදෙන
සිතේ මැවුනු නොමැකෙන නුඹේ රූපය
වඳදෙන්නේ ඇයි තවමත් මෙමට
දැන දැනම වෙන පුදසුනක පුදකල
මලක් වන වග නුඹ
පිදුවේ ඇයි නුඹේ ආදර මල මගෙ හදට
අහිංසකව විකසිත වී තිබු මගේ ලෝකය
කඩා වැටී පරව ගියේ නුඹ දුන් දුකට
හමුනොවුනත් මේ ආත්මයෙදි ආයෙත්
ආදරය කරමි සැමදා නුඹේ මතකෙට....
නිමි.
............ ෴ ..........







