Showing posts with label සිතුණු කථා.... Show all posts
Showing posts with label සිතුණු කථා.... Show all posts

Saturday, July 7, 2012

අවසානය මතකයක්...!

                           කොහොම ලියන්නද කොහොම පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ මටම.ඒ තරමටම අද මගේ හිත සිතුවිලි වල අතරමන් වෙලා. අමතක නොවන මතක ගොන්නක මම හිරවෙලා.කොච්චර අමතක කරන්න හැදුවත් ඒ මතක හිතට එබිකම් කරන එක නවතින්නෙම නෑ.ගොඩක් සතුටින් සැහැල්ලුවෙන් හිටපු හිත අද මහ බරක් හිතේ තද කරන් විඳවනවා.‍මේ හැගීම් වල නිමාවක් මට දකින්න ඕන වුනත් ඒක කරන්න බෑ.ඔව්.., මම හිතන්නේ සමහර විට මට කවදාවත්ම මේ මතකයෙන් නම් ගැලවීමක් නැතිවෙයි.....

             
                       හවස වැඩ ඇරිලා ගෙදර යන්න බස් එකට නගින්න ගියේ මම හරිම කම්මැලිකමේ.මොකද වෙනදා වගේ පිස්සුවක් නට නටා යන්න මගේ අතිජාත මිත්‍රයා හිටියේ නෑ.මගේ මේ අතිජාත මිත්‍රයා තමයි හිරුණි.අද ටිකක් සනීප නැතිව වේලාසන ගෙදර ගියා.හිරුණි මමයි පොඩි දවස් වල ඉදලම යාළුවෝ.කොටින්ම කියනවා නම් දනගාන කාලේ ඉදන්ම...කොහොම හරි කම්මැලිකමේ බස් හෝල්ට් එකට ඇවිත් බස් එක එනකම් මම හිටගෙන ඉද්දි කොණ්ඩෙත් අත් දෙකෙන් හද හදා පාරෙන් එහා පැත්තේ ඉඳන් එන ඒ රූපේ මම දැක්කේ හරියට විදිල්ලක් එනවා වගේ.පුදුම හදිස්සියක් ඒ ගමනේ තිබුණේ.කවුරුවත් හිටියේත් නෑ බස් හෝල්ට් එකේ ඒ වෙලාවේ. හිටියේ අපි දෙන්නා විතරමයි.මමත් ඉතින් ටිකක් හොරෙන් හොරෙන් බැලුවා ඒ මුණ දිහා.ඒත් ඒ අහංකාර ඇස් නම් මං දිහා එක තප්පරේකටවත් බැලුවේ නැහැ.ටික වෙලාවකින් එන බස් එකකට මෙයා එකපාරට අත දැම්මා.බස් එකට නගින්න යද්දිම මෙන්න මෙයා මං දිහා බලලා හිනාවක් දාගෙන ගියා....

"පිස්සු කොල්ලෙක්...මෙච්චර වෙලා අහංකාරයා වගේ ගනන් උස්සන් අහක බලන් ඉදලා දැන් හිනා වෙලා යනවා..හරි ඒත් මට මොකද ඒ මෝඩයා මොනවා කලත්..මම මොකටද පිස්සෝ ගැන හිතන්නේ..?"

              ඒ වෙලාවේ මගේ යටිහිත මටම එහෙම කිව්වා.ඊ‍‍ට පිටිපස්සෙන් ආව බස් එකේ නැගලා මමත් සුපුරුදු පරිදිම යන්න ගියා.හැබැයි මගේ හිත තිබුණේම අර අහංකාර හිනාව ලග නැවතිලා.නැත්තම් ඉතින් කොන්දොස්තර ලගට ඇවිත් ටිකට් එක දික් කරන් ඉද්දි මම අහක බලන් ඉදීවි ද..?ඇත්තටම ඒකට නම් මට ලැජ්ජ හිතුනා.ඒත් ශේප් එකේ සල්ලි දීලා ටිකට් එක ඉල්ලන් හොදට කල්පනාවෙන් ඉදලා බස් එකෙන් බැහැ ගත්තා.ඒත් ගෙදරට එනකනුත් ඇවිල්ලත් මම හිටියේ කොහෙද ලෝකෙක අතරමං වෙලා.ඇත්තටම කිව්වොත් ඒ අහංකාර හිනාව ලග මම අතරමං වෙලයි හිටියේ.දැන්නම් එයාට පිස්සු කොල්ලෙක් කිව්වට මටයි පිස්සු හැදිලා තිබුනේ.

"සුදු දු...ඔයා මොකද ඔය ආපු වෙලේ ඉදන් ඇදට වේගන කරන්නේ..?නැගිටලා මෙහෙට එන්න මේ හිරුණි ළමයත් ඇවිල්ලා...."


                    ආපු වෙලාවේ ඉදන් මනෝ පාරක් දාගෙන හිටපු මම අම්මා කෑ ගහද්දි තමයි පියවි සිහියට ආවේ.ඔන්න එතකොටයි මට මතක් වුනේ හිරුණිව බලන්න ගියෙත් නෑ නේද..? කියලා.දැන්නම් ඉතින් කනක් ඇහිලා ඉදලා ඉවරයි.

"අනේ අම්මා මම පොඩි වැඩක්..හිරුට කියන්න මෙහෙට එන්න කියලා...."

              එහෙම කියාගෙන ඇදෙන් බිමට පැනලා ටක් ගාලා පොතකුත් අරගෙන ආයෙම ඇදට වැටුනා.නැත්තම් ඉතින් නිදහසට කියන්න කාරනෙකුත් නැතිව යනවනේ..

 "අනේ...යසයි මෙයාගේ තරම..මෙයා මෙතන සැපට පොත් බල බල ඉන්නවා..නිකමටවත් එන්න බෑ මාව බලන්න..අසනීප වුනත් මම ආවා මෙයා ගෙදර ඇවිත්ද බලන්න..අම්මපා මෙහෙම පාප මිත්‍රයෙක් තියන් ඉන්නවට මට ගහන්න ඔනා...."

                   හරි හිතුවා වගේම ඔන්න මට වැඩේ සෙට්වුනා.ඒත් ඉතින් පොඩි චාටුවක් දාලා හිරුව නම් යාලු කර ගත්තා.තරහා වෙවි යාලු වෙන එක ඉතින් අපි දෙන්නගේ පුරුද්දක්.ඒ මොනවා වුනත් මට හිරුණි ඉස්සරහ වෙච්ච දේ හංගගෙන කථා කරන්න බැරි නිසාම යාලුවෙක්ටත් සහොදරයෙක්ටත් හිටිය හිරුණිට මම සිද්ධිය නම් කිව්වා....


                       
                         


                 ඒ සිද්ධිය වෙලානම් අදට අවුරුදු දෙකක් විතර වෙනවා.ඒ අහංකාර හිනාව ලඟ මගේ ජිවිතේ නවතී කියලවත් නැත්නම් ඒ පිස්සු කොල්ලා මගේ එකම ආදරේ වෙයි කියලවත් මට හීනෙකින්වත් හිතුනේ නැහැ.එදා ඒ හමුවීමෙන් පස්සේ අපි පුරුද්දකට වගේ හැමදාම මුණ ගැහුණා.මට එයාවවත් එයාට මාවවත් නැතිව බැරි තරමට අපි අතරේ මහ ලොකු බැදීමක් ඇතිවුණා.හැබැයි කවමදාවත් එයාවත් මමවත් ඒ බැදීමට නමක් හොයන්න ගියේ නැහැ.හැබැයි හැමදාම තොර තෝංචියක් නැතිව බැණුම් කන්දරාවක් නම් මම මේක නිසා හිරුණිගෙන් අහගන්නවා.මම විතරක් නෙමේ එයත් එයාගේ යාලුවා ශාන්ගෙන් කප්පරකට බැනුම් අහනවා.අයියෝ මම හැමෝගෙම නම් කියනවා.තාම එයාගේ නම කියා ගන්න බැරිවුනානේ.ඔන්න අහගන්නකෝ එහෙනම් එයාගේ නම තමයි ශෙහාන්.ඔව් මගේ ඒ පිස්සු කොල්ලගේ නම ශෙහාන්.ඔය විදිහට කොහොම හරි අපේ ජිවිත ඔහේ අවුරුද්දක් වෙනකනුත් ගලාගෙන ගියා.

                             එක දවසක් අපි කට්ටියම කතා වෙලා බීච් ගියා.කට්ටියම කිව්වට අපි හතර දෙනා විතරයි ඉතින්.කොහොමටත් මම කැමතිම දෙයක් තමයි මුහුද ලඟට වෙලා ඉදගෙන ඉන්න එකනම්.ඊටත් මම එයා ලඟට වෙලා ඉන්න නම් හිත ඇතුලෙන් මහ හුගක් පැතුම් පුරවගෙන ආසාවෙන් හිටියේ.ඒ ආසාව මෙහෙමයි කියලා මට වචන වලින් නම් කියන්න බැහැ.ඇත්තමට මම එහෙම කියන්න ඔනිත් නැහැ.ඔයාලට ඒ හැගිම අත්දැකීමෙන්ම දැනෙනවා ඇතිනේ.එහෙම නේද..? ඉතින් එදා මම බීච් ගියේ නම් ආදරයක් පිරුණු හිතක ඇතිවෙන අහිංසක හැගිම් ගොන්නක් එක්ක.

              ඇත්තටම එදා හරිම ලස්සන දවසක් වගේම මහ එපාම කරපු දවසක්.පැය ගානක් ඇතුලත මුළු ජිවිතයම විදින්න තරම් මම වසනාවන්තියක් වුනා.ඒ වගේම තප්පර කිහිපයක් ඇතුලත ඒ ජීවිතේ නැති වෙන්න තරම් මම කාලකන්නියකුත් වුනා.ජීවිතේ ගැන මෙහෙමයි කියලවත් හරිහැටි අවබෝධයක් තිබුණ නම් මම මේ ආදරේ කියන අකුරු තුනට යටවෙන්නේ නැහැ.නමුත් අම්මා තාත්තාගේ ආදරේට හුරතලේ‍ට හැදුණ වැඩුණ මම මේ ලෝකේ ගැන මහ ලොකු දෙයක් දැනගෙන වුන්නේ නෑ.ඒ නිසා ජිවිතේ ගැන වගේම ආදරේ දිහා බැලුවෙත් බොලඳ ඇස් දෙකකින්.(ඔන්න අහනවා එහෙම නෙමෙයි බොලඳ ඇස් කියන්නේ මොනාද කියල නම්) එදා මාවයි එයාවයි තියලා ශානුයි හිරුයි ගියා කන්න මොනවා හරි ගේන්න කියලා.අපි දෙන්නත් ඉතින් ඔහේ කයියකට වැටිලා කියව කියව හිටියා.අපිටද ඉතින් කතා කරන්න දේවල් නැත්තේ.නැතත් ඉතින් කියවනවා.කටට නම් නිවනක් ඇත්තෙම නෑ.

"අනේ පුංචි උදව්වක් කරන්නකෝ....කෝ ඉතින් පුළුවන්ද කියන්නකෝ..??"

     එකපාරට හිටි හැටියෙම ශෙහාන් එහෙම අහද්දි නම් මම බය වුනා.ඒත් ඉතින් ඔන දෙයක් කියලා මමත් ඒ මුණට එබෙන ගමන්.......

"හරි ඉතින් කියන්නකෝ ඔන උදව්ව මොකක්ද කියලා...."

"මගේ මේ අහිංසක කන් දෙක ගැන හිතලා ටිකක් ඔය කච කච මල්ල වහගෙන ඉන්න පුළුවන්ද...??"

"ඔයා නම් මහම මහ මෝඩයෙක්..ඇත්තමයි ආයේ නම් මම ඔයත් එක්ක කතා කරන්නෙම නෑ..යනවා යන්න පිස්සා..මම තරහම තරහයි ඔයත් එක්ක..."

            එහෙම කිව්වට තරහ ගියේ නම් නෑ.තවත් මම ඒ ඇස් ඉස්සරහා අසරණවුනා විතරයි.මම ඒ දඟකාරකමට කොච්චර නම් ආදරේ කලාද...? ඒ වෙද්දිත් මගේ මුළු ජීවිතේම මම ඒ පය පා මුල තියලයි තිබුනේ.වෙනසකට තිබුනේ කටින් කියා ගන්න බැරිව ලතවුන එක විතරයි.

අනේ එක පාරක් මගේ දිහා බලලා ආදරෙයි කියන්න...තව නම් බෑ මට ඉවසගෙන ඉන්න...ඔයා දන්නවා නම් මේ හිත ඔයා වෙනුවෙන් මැරෙන තරම...මට පුළුවන් වුනානම් මම ඔයාට විතරක් නෙමෙයි මේ මුළු ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා කියනවා මේ හිත ඇතුලේ තද කරන් ඉන්න ආදරේ ගැන...ඇත්තමයි සත්තයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි කියාගන්න බැරි තරමට මම ඔයාට ආදරෙයි...!!!

"ආ කොහෙද ඒ පාර දුර ඈතකට ගියේ මගේ පැංචි..අනේ ඉතින් කතා කරන්නකෝ..මම පොඩි විහිළුවක්නේ කලේ..දන්නවද ඔය කච කච පෙට්ටිය වහලා තියෙද්දි මට කොච්චර පාළුද කියලා..??"

           අනේ ඒක කිව්ව තාලේට නම් මම පිස්සු වැටුනා.කටින් නොකිව්වත් ඒ ඇස්වල තිබුණ ආදරේ මම හොදටම දැක්කා.මොහොතකට හරි අපි‍ට අපේම වෙන්න වාසනාවක් තිබුණා.ඒ හිනාව ඒ ඇස් මගේ මුළු ජීවිතේම වෙනමම ලෝකේකට අරං ගියා....
                                                ඒ විදිහට ඒ ලස්සන ආදරේ වැඩි වෙලාවක් යන්නේ නැතිවම මහ අඳුරු වළාවක් ඇවිත් වහ ගත්තා.

"ශෙහාන් අයියා ඔයා මෙතන..අනිත් එක මේ මේ............."

"අහ්...පියු ඔයා..අද වෙලස්සන ඕෆ් වුනාද..?මම එන්නයි හිටියේ ඔයාව ගන්න..මම මේ ශානත් එක්ක ආවේ අනේ..කන්න මොනවා හරි ගේන්න කියලා ඌ කඩේට ගියා....."

             වෙන්නේ මොනාද කියලා හිතා ගන්න බැරිව මම ඔහේ බලාගෙන හිටියා.මම ඒ ගර්ල්ව කවදාවත් දැකලා නම් තිබුනේ නැහැ.ජිවිතේ කිසිම රහසක් තියන් හිටිය නැති අපි අතරට මේ පාත්වුන මරාලේ ගැන මම පුදුම වෙන එක පුදුමයක් නෙමෙයිනේ.මම ඉන්නවද නැද්ද කියලවත් ගානක් නැතිව එයා අර ගර්ල් එක්ක කතා කරනවා.හැබැයි ඒ කතා කරන විදිහට මට ඒ දෙන්නගේ සම්බන්දේ මොනවගේ එකක්ද කියල නම් තේරුනා.ඒත් තවමත් මගේ හිත හිටියේ ඒ දේ පිළිගන්න කැමැත්තක් නැතුවමයි.ඉතින් එයාලා කතා කරලා මගේ ලගට එනකම්ම මම එහෙම්මම වාඩිවෙලා බලාගෙන උන්නා.හැබැයි ඒ මොහොතේ මට දැනිච්ච අසරණකම ගැන නම් මම ඔයාලට අමුතුවෙන් කියන්නේ නැහැ....

"මාෂි.........මාෂි.........."

                 කතා කරන්න තියා බලන්නවත් බැරුව හිටිය මම මවා ගත්ත හීන් හිනාවක් එක්කම එයාලා දිහා බැලුවා.කොච්චර දුකක් හිතේ තිබුණත් ඒ දුකටත් වඩා ආදරේ වැඩි නිසා වෙන්න ඇති මට ඒ ගර්ල් ඉස්සරහ වෙනසක් පෙන්නලා ප්‍රශ්නයක් ඇති කරන්න ඔන වුනේ නැහැ.මම තරමටම එයත් අසරණ වෙලා හිටියා කියලා මම ඒ ඇස් දිහා බලද්දි හොදටම දැක්කා.ඒත් මම ඒ ඇස් දිහා බලලා ඉල්ලුවේ එකම දෙයයි.ඒ මාව තවත් අසරණ කරන්න එපා කියලා...

"මට ඔයාට කියන්න බැරි වුනානේ මාෂි...මේ පියුමි...අපි ලඟදි මැරි කරන්න ඉන්නේ..........."
  
        ඒ මොහොතේ කඩාගෙන වැටුන මගේ ලෝකය නම් අදටත් තවමත් මම හොයනවා.ඒත්..........


සිත ඇඳුනේ නුඹේ දිදුලන දෑස වෙතට
මතකයි තවමත් නුඹේ දඟකාර බැල්ම
නිදන්නට නොදි සිහිනෙනුත් වදදෙන
සිතේ මැවුනු නොමැකෙන නුඹේ රූපය
වඳදෙන්නේ ඇයි තවමත් මෙමට
දැන දැනම වෙන පුදසුනක පුදකල
මලක් වන වග නුඹ
පිදුවේ ඇයි නුඹේ ආදර මල මගෙ හදට
අහිංසකව විකසිත වී තිබු මගේ ලෝකය
කඩා වැටී පරව ගියේ නුඹ දුන් දුකට
හමුනොවුනත් මේ ආත්මයෙදි ආයෙත් 
ආදරය කරමි සැමදා නුඹේ මතකෙට....

      
     නිමි. 
 ............ ෴ ..........

Monday, June 18, 2012

සංසාරගත බැදීමක්...!

                             
                         හීන් පිනි පොදක් ඇඟට වැටෙනවත් එක්කම ඇඟ කීරි ගැහෙන්න හමාගෙන ආව සුළග නම් ගෙනාවේ වැස්සක පෙර නිමිත්තක්ම තමයි.මේ වගේ වෙලාවක් නම් අත්හරින්න හිතෙන්නෙම නෑ.වැස්සට තෙමෙන එක තරම් සුන්දර දෙයක් තවත් තියනවද..? ඔයාලත් ඉතින් ඒක හොදට දන්නවා ඇතිනේ....

චුටී...චුටී...ඔයා කොහෙද..?

              සුදු අයියගේ කෑ ගැහිල්ල හරියට මම වැස්සට ගහගෙන යනවා වගේ. සුදු අයියා කියන්නේ මගේ ඇවැස්ස මස්සිනා. ඇත්තම කියනව නම් සුදු අයියගේ පණ ටික තිබුනේ මගේ ලඟ. ඒ ආදරේට නම් මමත් මහ හුඟක් ලෝබයි. ඒත්.....මට ඒ ආදරේ‍‍ට ලංවෙන්න හිතක් තිබුණෙම නැහැ. 

"ඔයා දැන්ද ආවේ..? මම මිදුලේ සුදු අයියා... කියන්න මට ඇහෙනවා ඇයි කථා කලේ..?"

"ඇහෙනවා තමයි...පේන්නේ නැද්ද හතර වටේම කළුකරගෙන වහින්න එනවා...මෙහෙට එන්න චුටී...බලන්න හොදටම පොද ගහනවා..."

              සුදු අයියා ඒ කියපු වචන ටිකට නම් මාව පිච්චුන ගානයි. අනේ මට මං ගැනම දුක හිතුනා. මටත් අනිත් අයට වගේ මේ හැමදේම දකින්න තිබුණා නම්....හිතට එහෙම දැනෙද්දි කටිනුත් ඉබේටම ඒක පිටවුනා.

"අනේ, ඔයාට වගේ මටත් පේනවානම් සුදු අයියේ....."

              එහෙම කියලා ඇස් වලින් පැනපු කදුළු පොදිය මමම අත් දෙකෙන් පිහදාගත්තා. ආදරේ හිතිලද අනුකම්පා හිතිලද මන්ද සුදු අයියා මම හිටපු බංකුව උඩින්ම ඉඳගෙන මාව තුරුල් කර ගත්තා. හිත මොනවා කිව්වත් හැමදාමත් ඒ ආද‍රේ ලඟ මම පුංචි අතදරුවෙක් ගානයි. ඇඟට දැණුන සීතලට මමත් ඒ උණුහුමට තවත් ලංවුනා. අනේ මගේ සුදු අයියටත් මේ අන්ධ කෙල්ලගෙන් තොර ලෝකයක් තිබුණෙම නෑනේ. ඉඩක් තියන හැම තප්පරයක් ගානෙම දුවගෙන එන්නේ මාව බලන්නමයි. මම දන්න දා ඉදන්ම ඒක එයාට තිබුණ පුරුද්දක්. පුංචි කාලේ ඉදන් අපි හැදුනේ වැඩුනේ එකටමයි. මොකක්දෝ පවකට ඉපදුණ දා ඉදන් මට මේ ලෝකේ දකින්න ඇස් දෙකක් තිබුණේ නැහැ.ඒ නිසා මම හැමදාමත් මේ ලෝකේ දැක්කේ සුදු අයියගේ වචන වලින්... පවුලේ එකම දරුවා වෙච්ච මට හැමදේටම ලඟින් හිටියේ සුදු අයියා විතරමයි. පුංචි දා ඉඳන් තිබුණ ඒ ආදරේ ලෙංගතුකම අපිව ආදරවන්තයෝ කරලා නම් තාම අවුරුද්දක්වත් ගෙවුනේ නැහැ. හැබැයි මම එයාට මොන තරම් ආදරේ කලත් මට කවමදාවත් එයාගේ වෙන්න නම් ඕනකමක් තිබුනේ නෑ. මොකද ඒ ලස්සන ජිවිතේ අඳුරින් පුරවන්න මගේ හිත පොඩ්ඩක්වත් කැමතිවුනේ නැහැ.

"අනේ පැටියෝ, මම අඬන්න තරම් දෙයක් කිව්වේ නැනේ ඔයාට...වැස්සට තෙමිලා ඔයා ලෙඩ වෙයි කියලනේ කෑ ගැහැවුවේ... කෝ කෝ දැන් ඉතින් හොද කෙල්ල වගේ හිනාවෙන්නකෝ ටිකක්...

                    මාව හිනස්සන්න හැදුව ඒ ඇස්වල තියෙන කදුළු මට පෙනෙයි කියලා බයටම සුදු අයියා මගෙන් මුණ වහන් කරගෙනම කථා කලා. මටත් ඒ ඇස් අඬවන්න තිබුණ ලෝබ කමටම හිතේ දුක එහෙම්මම තද කර ගත්තා.ඒ වෙලාවෙම හයියෙන් කඩා වැටුන වැස්සට ඇස් වල කදුළු විතරක් නෙමෙයි ඇත්තටම හිතේ කදුළුක් සේ දිලා ගියා.


"චුටී දු...සුදු පුතා...මෙහෙට එන්නකෝ ළමයිනේ.....වහිනවා නේද  හොදටම..? එන්න ළමයිනේ ගෙට...."

                    ඒ පාර අම්මා ගේ ඇතුලේ ඉදන් කෑ ගහනවා. සුදු අයියා අම්මට කථා කරන ගමන් මාවත් එක්කගෙන ගෙට ගියා.

"මේ එනවා නැන්දේ...."

               ගෙට යද්දිම අම්මා දුවගෙන ඇවිත් තෙමිච්ච පිටින්ම හිටිය මාව තුරුල් කරගෙන අඬන්න ගත්තා. අනේ මන්දා ඒ පාර නිකම් මටත් පිස්සු වගේ. ඇයි අප්පා ‍හොදට හිටිය අම්මා එකපාරට අන්න ගත්තාහම බයවෙන්නේ නැද්ද..?

"අනේ මගේ මැණික දිහා දෙවියෝ බලලා මගේ පුතේ....මගේ මැණිකට එළිය බලන්න ඇස් දෙකක් ලැබිලා පුතේ...මේ දැන් මට ඩොක්ටර් සමරසිංහ කථා කලා...හෙට උදේම චුටීව එක්ක එන්න කියලා...."

                     අම්මා සුදු අයියට එහෙම කියාගෙන අපි දෙන්නවම එක පාර තුරුල් කර ගත්තා. වෙන්න යන කිසිම දෙයක් හිතා ගන්න බැරිව අපි දෙන්නම හිටියේ ගොළුවෙලා. ඇත්තටම සුදු අයියට කෙසේ වෙතත් මට නම් හීනයක් දකින ගානයි. මොකද මම දන්න දා ඉදන් මට බද්ද කරන්න ඇස් දෙකක් හෙව්වත් හම්බුනේ නැහැ. ඉතින් හදිස්සියෙන් මේ වුන දේ මට හීනයක්ම තමයි. 

"අයියෝ හිනා වෙන්න ඕන වෙලාවේ අන්න එපා නැන්දේ...දැන් හැමදේම හරිනේ...."

               එහෙම කියලා සුදු අයියා අම්මගේ හිත හැදුවත් සතුට වැඩිකමටම ද කොහෙද අම්මා අඬන එකනම් නැවැත්තුවේ පැය ගානක් ගිහිල්ලා.හුගක් කළුවර වැටිලාත් තිබුණ නිසා වැස්සෙම වුනත් සුදු අයියා ආපහු ගෙදර යන්න ලෑස්තිවුනා. 

"මම දැන් යන්නම් පැටියෝ, අම්මත් බලාගෙන ඇතිනේ...හෙට උදේම යන්නත් තියන නිසා ඔයත් වේලස්සන කාලා නිදා ගන්න...හොදද..?"

                  එහෙම කියලා මහ ලොකු බරක් උස්සන් ඉදලා බිමින් තිබ්බා වගේ හුස්මක් පිට කලා. මට දැනුනා එයා අත් දෙකෙන් මාව අල්ලන් හිටිය විදිහෙන් එයා මම දිහා බලන් ඉන්නේ කියලා.මෙච්චරට සුදු අයියා හිතේ තද කරන් ඉන්න බර මොකක්ද කියලා නම් මට තේරුම් ගන්න පුළුවන් වුනේ නැහැ කොහොමටවත්.

"අනේ ඇයි සුදු අයියේ මේ..?"

"යන්න හිතෙන්නේ නෑනේ මට...තව ටිකක් ඔය මුණ දිහා බලන් ඉන්නමයි හිතෙන්නේ....දන්නවද චුටී, ඔය ගොරකා මුණ කොච්චර කැතද කියලා..?"

"අනේ මේ යනවා යන්න..කවුද දන්නෑ ගොරකයා.හෙට ඉදන් මමත් බලන්නම්කෝ ගොරකයගේ මුණ..."

                   

           
              අම්මා අහරවන්නත් කලින්ම මම උදේ නැඟිටලා ලෑස්තිවුනා.ඇත්තටම හිතේ තිබුණ සතුට නම් කියලා නිම කරන්න බෑ මට. ඔපරේෂන් එකට ගන්න කලින් හැමෝම එක එක දේවල් කියලා එළියට යන්න ගියා. ඒ කියපු දේවල් අහන්න තරම් මගේ මනස නිරවුල් තත්වෙක තිබුනේ නැහැ. මොකද සතුට වගේම බයකුත් මගේ හිත ඇතුලේ තිබුණා. හැමොම යන්න ගියත් සුදු අයියා මං ලඟ හිටියා.එයාට නම් මම ලඟින් යන්න ගානක් නැතිම පාටයි.

"බයවෙන්න එපා පැටියෝ...හැමදේම හොදින් සිද්දවෙයි...මමත් එහෙනම් එළියට වෙලා ඉන්නම්..."

                             එහෙම කිව්වත් සුදු අයියා මං ලඟින් ගියෙම නෑ. මගේ ඔලුවට අත තියාගෙන ලඟට වෙලා හිටියා.කියා ගන්න බැරි මහ මොකක්දෝ දෙයක් ඒ හිත ඇතුලේ තිබුණා කියලා නම් මට දැනුණා.ඒත් ඒ මොකක්ද කියලවත් ඒ වෙලාවේ නම් මම අහන්න ගියේ නැහැ.ටික වෙලාවකින් නර්ස් කෙනෙක් ඇවිත් සුදු අයියට කතා කලා.

"ඔයාට ඩොක්ටර් සමරසිංහ කතා කලා...."

                               සුදු අයියා එතනින් යන්න ගියාට පස්සේ මාව පැය 2/1කින් විතර ඔපරේෂන් එකට අරංගියා. කොහොම හරි හැමදේම හොදින් සිද්ද වෙලා තිබුණා. මගේ වෙළුම් පටි ගලවනවා කියලා ඩොක්ටර් සමරසිංහ මට කියද්දි මට දැනුණ සතුට නම් කියලා නිම කරන්න බෑ. ඉපදිලා හරියටම අවුරුදු 20කට පස්සේ මම මේ ලෝකේ ඇස් දෙකකින් දකින්න යන්නේ. මට හිතාගන්නවත් බැහැ. ඩොක්ටර් සමරසිංහ මගේ වෙළුම් පටි එකින් එක ගලවලා හෙමිහිට අයින් කළා.ඇත්තටම මම සැරින් සැරේට හිතුවේ මේක හීනයක් නෙමේ නේද කියලමයි...

"හරි පුතේ..., දැන් හෙමින් පරිස්සමට ඇස් අරින්න....."

                           දෙයියනේ..., මට මොනවද ඇහෙන්නේ කියලවත් හිතාගන්න බැහැ.හෙමින් හෙමින් මම ඇස් අරිද්දි හැමෝම මගේ වටේට වෙලා හිටියා.අම්මා මගේ ලඟට ඇවිත් මාව තුරුල් කරගෙන අඬන්න ගත්තේ සතුටටද දුකටද කියලා හිතාගන්න බෑ.කවදාවත්ම දැකලා තිබුණේ නැති ඒ හැම දෙනාවම මම දැක්කා ජිවිතේ පළමු වතාවට...ඒත් මට දැනුණා මගේ ඇස් දකින්න පොර බදන ඒ රූපේ විතරක් එතන නැති විත්තිය. අනේ ඔව් මගේ සුදු අයියා එතන නැහැ.එයා කෝ..? ඇයි මට පේන්න එන්නේ නැත්තේ..? සමහරවිට ගොරකා මුණ පෙන්නන්න තියන ලැජ්ජාවට වෙන්න ඇති. ඒ විදිහට එක එක සිතුවිලි හිත ඇතුලේ පොර බදද්දි.........

"අනේ අම්මේ සුදු අයියා කෝ..? එයා මෙතන නැත්තේ ඇයි..? අනේ කියන්නකෝ..?"

                    මම අහපු දේට අම්මා මොකුත්ම කියන්නේ නැහැ. අම්මා තියා කවුරුවත්ම මට මොකුත් කියන්නේ නැහැ. හැමෝගෙම මුණු අමුතු වෙලා. අහලා අහලා එපා වුනු තැන ඉවසගන්න බැරිව මට මහ හයියෙන්ම ඇඩුණා. අම්මා මාව ලට අරගෙන.....

"අඬන්න එපා මගේ මැණික..එන්න මගෙත් එක්ක..මම මගේ මැණිකගේ සුදු අයියාව පෙන්නන්නම්...."

                 එහෙම කියලා අම්මා මගේ අතින් අල්ලගෙන එක්කන් ගියේ I.C.U. කියලා ගහලා තිබුණ රූම් එක‍ට. මොනවත්ම හිතාගන්න බැරිවුන නිසයි ආයෙමත් හැරිලා අම්මගේ මුණ දිහා මම බලාගෙන හිටියේ.ඒත් අම්මා මොකුත් නොකියම මුණ අහකට හරව ගත්තා.අපිත් එක්කම ආව නර්ස් මාව අතින් අල්ලන් ඇතුලට එක්කගෙන ගියා. ජිවිතේ පළමු වතාවට මට ඒ මුණ දකින්න ලැබුනේ කවමදාවත් හීනෙකින්වත් නොහිතපු විදිහට. මගේ ඇස් වලින් දැකපු දෙයින් මට කෙලින් හිටගෙන ඉන්න තරම්වත් ඇඟට වාරු ගන්න බැරිවුනා. මගේ ඇස් හැමදාටම පෙනුනේ නැත්නම් කියලා හිතුනා. දෙයියනේ මගේ රත්තරං සුදු අයියා ඇඳක් උඩට වෙලා ඔහේ උඩ බලාගෙන ඉන්නවා.කිසිම සිහියක් පතක් තිබුණේ නෑ එයාට.අහපු දැකපු දේවල් වලින් මට මාවම එපා වුනා. හැමදාම ඒ ඇස් දෙකෙන් වචන වලින් මේ ලෝකේ මට පෙන්නපු සුදු අයියා සදහටම ඒ ඇස් දෙක මට දුන්නයි කියලා දැන ගත්තහම......

"අනේ මෙච්චර ආදරයක් ඔය හිතේ මම ගැන තියන් හිටියේ කොහොමද මගේ සුදු අයියේ.....?"


ජිවිතය යනු ආදරය කියා 
ඉගැන්නුවේ මට නුඹයි එදා
හිස්ව ගිය සිත් කවුළුව හැර
සිත පිරෙන්න ආදරය කැටිකළා
ජීවන මංපෙත නුඹ පෙන්නලා
ජීවන රසයට මිහිරක් ආදරයෙන් එකළු කළා
කෙදිනකවත් ලොවක් නොදුටු මෙමා
ලොව දකින්න මට ඔය නෙතු පුජා කළා
නෙතින් ලොව දකිනා පළමු දිනේ
නුඹ දකින්න මා පින්කළා
නමුදු හිත වාවන්නේ නම් නෑ රත්තරනේ
මට හිමිකළ නෙතු අද නුඹ හට අහිමිවෙලා
සාගරයක් තරමට ආදරය පෙන්වා
මගේ ආදරය වැලිකැටයක් කළා
සසරෙ පතන හැම භවයක් පුරා
අපි අපේම වන්නට පෙරුමන් පුරමු මෙදා....

       අපේ ආදරේ අපිට නැති වුනොත් අපි හිතන්නේ මේ ලොකේ ආදරේ කියන්නේ මහ බොරු කිසිම වැඩකට නැති දෙයක් කියලා.අපි කොච්චර දුක් වෙනවද, අඬනවද, තැවෙනවද, ඒ ගැන.නමුත් එහෙම කරන එකෙන් වෙන්නේ අපේ ආදරේ අපිම මරලා දානවා වගේ වැඩක්. මම හිතනවා ආදරේ කියන්නේ වචනෙකින් කියලා නිම කරන්න බැරි උතුම් දෙයක් වගේම මේ ආදරේ ලැබුනත් නොලැබුනත් ඒක සංසාරගත බැඳිමක් නිසා ඇතිවෙන දෙයක් කියලා.සමහර විට මම වැරදිද දන්නෙත් නෑ.ඒත් මම කිව්වේ නම් මට හිතෙන දේ.මම මෙච්චර ලස්සනට ආදරේ දකින්න පුරුදු වුනේ මගේ සුදු අයියගෙන්...මම හිතනවා මේක ඇත්තටම සංසාරගත බැදීමක් කියලා...මම ඔයාලගෙනුත් ඉල්ලන්නේ අපි හැමදාමත් ආදරේට ආදරේ කරමු කියලා...... 


      නිමි. 
 ............ ෴ ..........


Saturday, June 2, 2012

බොඳව ගිය සිහිනය...!

'' සෙනෙහෙ පිරුණු සිත් අහසක
සක්මන් කළ  සඳ කුමරිය
මහ කළුවර වැහි වළාවක
පැටලි අතරමංවිය ජිවිතය...''

        සඳ මෝඳු වෙලා තිබුණ ඒ දවස මට අද වගේ මතකයි.හරිම නිසංසල රැයක්. ඒත් එදා හිතට මහ පාළු ගතියක් ගෙනාපු දවසක්.ඒක නිසයි නිදා ගන්න යන්නෙවත් නැතිව එළියට ඇවිත් රෑ අහසෙ පායා තිබුණ සඳ දිහා බලන් හිටියෙ.

 ''චුටී දු, ඔයා මොකද ඔය එළියට වෙලා කරන්නේ..? ගේ ඇතුලට  එන්න හොඳටම රෑ වෙලා...''
                                    අම්මා මට ගේ ඇතුලෙ ඉදලම කථා කලා.අපේ පවුලට හිටපු එකම දරුවා මම.හැබැයි ඒත් මට කථා කරන්නෙ චුටී දුව කියලා.කොහොමත් ඉතින් චුටීත් ලොකුත් මමම තමා.අම්මත් කථා කරපු නිසා මම ආයෙමත් ගෙට ගියා.ඒත් අනේ මන්දා මොකක්දෝ මහ අමුතු ගතියක් හිතට දැනුනා. 

''චුටී දු එන්න කෑම කන්න..''
                                        ''හරි අම්මා මේ එනවා...''

                            එහෙම කියාගෙන ගිහින් කෑම කන්න වාඩි වුනත් කන්න තරම් පිරියක් හිතේ තිබුණේ නැහැ.අම්මයි, තාත්තයි, ආච්චි අම්මයි එක පිම්මේ බලන් ඉන්නවා නැගිටින්න විදිහකුත් නැහැ.ඒ නිසා අන අනා හිටියා මිසක් බත් කටක්වත් කටේ තිබ්බේ නැහැ.

''අනේ මන්දා මේ දරුවා මොනවා කාලා හැදෙන්න හදනවද කියලා. යන්න කන්න බැරිනම් කිරි එකක්වත් හදාගෙන බොන්න ගිහින්...''

                      අම්මා එහෙම කියපු නිසාම අතත් සෝදගෙන කුස්සියට ගියේ කිරි එකක් හදාගන්න. කිරි එක හදාගෙන එක උගුරක්වත් බොන්න හම්බුනේ නැහැ. ට්‍රිං...ට්‍රිං... Phone එක Rings යනවා. හැමෝම කකා හිටපු නිසා Phone එක Answer කරන්න මමම ගියා. 

''හෙලෝ...හෙලෝ...''

                   දෙතුන් පාරක් කථා කලත් එහා පැත්තෙන් කිසිම සද්දයක් නැහැ. Phone එක තියන්න හැදුවා විතරයි, 

                  '' හෙලෝ...මයුමි...,''

                                          කාලෙකට පස්සේ ඇහුන ඒ කටහඬින් මාව කරකවලා අත ඇරියා වගේ වුනා.මම මොනවද කියන්නේ කියලවත් හිතන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. කොච්චර කාලයක් ගිහින් තිබුණත් මට ඒ කටහඬ ඒ වචන දෙකෙන්ම අඳුන ගන්න පුළුවන් වුනා.මම හිතන්නේ එයාටත් එහෙමයි.ඒකනේ කථා කරපු ගමන් මගේ නම කිව්වේ.දැන් ඔයාලත් බලනවා ඇති මම අඳුර ගත්ත කෙනා කවුද කියලා.නේද..? ඒ වෙන කවුරුවත්ම නෙමෙයි මගේ අහිංසක ආදරේ එකම හිමිකාරයා රවිඳු. රවිඳුයි මමයි මුලින්ම මුණගැහුණේ උසස් පෙළ පන්තියේ දී.මුලින්ම අපි හොඳ යාලුවෝ වුනා. පස්සෙ දි ඒ යාලුකම ආදරයක් වුනත් පෙර කල පවකට වගේ ඒ ආදරේට වැඩි ආයුෂක් තිබුණේ නැහැ.හැබැයි කවමදාවත් මේ හිත එයාව අමතක කලේ නැහැ. මහලොකු ලෙංගතුකමක් බැඳීමක් හැමදාමත් මේ හිත යට තිබුණා.කොච්චර උත්සහ කලත් මට ඒ ආදරේවත් රවිඳුවවත් කවමදාකවත් අමතක කරන්න බැරිවුනා.අද‍‍ටත් තවමත් එහෙම්මමයි.

''හෙලෝ...රවිඳු..,''
                  තවත් විනාඩි කිහිපයක් ගියාම මමත් කටහඬ ආයෙමත් අවදි කළා. 

         ''කොහොමද මයුමි ඔයාට..? හුඟ කාලෙකට පස්සේ ඔයාගේ කටහඬවත් ඇහැව්වේ..,''

                  ''හ්ම්..වරදක් නැහැ රවිඳු මම හොඳින් ඔයාට කොහොමද..?'' 
                කථා කරන්න බැරි තරමට වේදනාවක් දැනුනත් අමාරුවෙන් හරි මම වචන ගැට ගහ ගත්තා. 

''එහෙනම් කොච්චර හොඳද අහන්නත් සතුටුයි..මමත් හොඳින් මයුමි..මම ඔයාගේ නම්බර් එක අමායාගෙන් ඉල්ල ගත්තේ. අද මට ඔයත් එක්ක කථා කරන්නම ඕනවුනා ඒකයි.'' 

                          අමායා කියලා කියන්නේ මගේ හොඳම යාලුවා.ඒත් මට හිතාගන්න බැරිවුනේ හදිස්සියෙම අමායගෙන් නම්බර් එකත් ඉල්ලන් රවිඳු මට කියන්න යන දේ ගැන.

 ''හෙලෝ...මයුමි අනේ ඔයාට කරදරයක්ද දන්නේ නෑ මේ වෙලාවේ කථා කරපු එක.'' 
              මම සද්දයක් නැතිව හිටපු නිසා වෙන්න ඇති රවිඳු එකපාරටම එහෙම කිව්වා. 
                          
            ''අනේ නැහැ රවිඳු එහෙම දෙයක් නැහැ ඔයා ඕන දෙයක් කියන්න මම අහන් ඉන්නම්.මම මේ හිතුවේ හදිස්සියෙන් කාලෙකට පස්සේ මේ රෑ මාව මතක් වෙච්ච හේතුව මොකක්ද කියලයි.'' 
  
                   හිතට ඇවිත් තිබුණ වේදනාවත් එක්ක එහෙම දෙයක් කිව්වට ඒ ගැන නම් මටම දුක හිතුනා.ඉස්සර නම් රැයක් දවාලක් කියලා තිබුණේ නෑ කථා කරන්න ගියාම.ඒත් මේ වෙද්දි කාලය ඒ හැම දෙයක්ම වෙනස් කරලයි තිබුණේ.රවිඳුගේ ගෙදරින් ආව බලපෑම් නිසා එයා මේ ආදරේ අමතක කරපු එක ගැන මට තියෙන්නේ දුකක්ද, තරහක්ද, කියලා තාමත් හිතා ගන්න බෑ.කුළුදුලේම ඇතිවුන ආදරයක් නැතිවුනාම දැනෙන වේදනාව ඔයාලා දන්නවනේ ඉතින්.

''ඔයාට ඔහොම හිතෙන එක වරදක් නෑ මයුමි...ඒත් එකම එක පාරක් මට ඔයාගේ කටහඬ අහන්න ආස හිතුනා මයුමි...''

දෙයියනේ එහෙම කියද්දි නම් මට ඉවසගෙන ඉන්න බැරිවුනා.මොනවා වුනත් තාමත් මගේ හිතේ තියෙන ආදරේනේ.ඒ නිසයි ඇහැට කඳුලක් ආවේ.
           ''අ...අ...අනේ ඇයි රවිඳු ඔහොම කථා කරන්නේ.ම..ම..මට කියන්න මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්ණේ...''

''ප්‍රශණයක් නම් නෑ මයුමි.ඒත්...'' 
                                           එහෙම කියලා ඉහලට ඇද්ද හුස්මට නම් මමත් ඇදිලා ගියා.ඒත් මට තේරුනා රවිඳු මට කියා ගන්න බැරි මොකක්දෝ දෙයක් නිසා ලතවෙනවා කියලා.ඇත්තටම එහෙම වෙද්දි හිතට බයකුත් දැනුණා.ඒත් එහෙමයි කියලා අහන්නේ නැතිව ඉන්නත් බෑනේ අප්පා.

''අනේ කියන්නකෝ රවිඳු..,මට ඕන දෙයක් අහන්න පුළුවන් රවිඳු මෙච්චර කාලයක් මම ඔයා නිසා හිත හදාගෙන හිටියනේ.,'' 
                                                                         පණ්ඩිතයා වගේ එහෙම කිව්වට ඉතින් මම තමයි දන්නේ හිත හදන් හිටපු හැටි. 

''මම හෙට කසාඳ බදිනවා...'' 
                                
                               දෙයියනේ., ඉදලා ඉදලා රවිඳු කියන්න යන්නේ ඔහොම කථාවක් කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ.ම‍ට ඒ වෙලාවේ උඩට ගත්ත හුස්ම පහළට දා ගන්න බැරිවුනා.කොච්චර රවිඳුගෙන් ඈත් වෙලා හිටියත් හැමදාම ප්‍රාර්ථනා කළේ ආයෙමත් කවදා හරි දවසක මගේ ආදරේ මට ලැබෙන්න කියලයි.ඉතින් මේ වගේ දෙයක් මම කොහොම දරා ගන්නද..?මට හිතාගන්න බෑ මට මොනාද වුනේ කියලා මගේ ජීවිතේම වෙලා තිබ්බ මගේ එකම ආදරේ මට සදහටම නැතිවෙලා යනවා කියලා දැනෙද්දි මට හිතුනේ මම මැරෙන එක හොදයි කියලා. අතේ තිබුණ රිසිවරයත් බිමට වැටෙද්දි මට ලාවට වගේ මතක තිබුනේ අතේ තිබුන කිරි වීදුරුව සුදු පාටට බිමට වැටිලා හැම තැනම විසිරිලා යනවා විතරයි.


සිත් අහසම එළිය කල
දහවල මෙන් රාත්‍රිය පහන් කල
මමයි කියා නුඹේ ඒ සඳ මඩල
මතකද කීවා දවසක් නුඹ මෙමට

සිනාවෙන් පිරුණු මේ මුව මඩල
වාසනාවක්ලු නුඹේ දිවියට 
ආලෝකය පිරුණු මේ නෙතු සඟල
මතකද කීවා පණමෙන් රකින බව

නමුදු නුඹ කියු ඒ ආදර වදන් වල
අයිතියක් නොව දැන් මෙමට
පවසන්නකෝ අද නුඹේ සිත් අහස
පහන් කරනට යන  ඳකුමරිය ගැන මෙමට....

ජිවිතේ ලස්සන දේවල් අපිට නැති වෙන්නේ අපි බලන් ඉද්දිමයි.(ආදරෙත් තියෙන්නේ ඒ ගොඩේනේ ඉතින් නේද..?)ඒ දැනෙන දුක, වේදනාව, දරා ගන්න මහ හුගක් අමාරුයි.ඒක මම හොදටම දන්නවා.ඒත් ඒ නැති වෙන දේවල් ගැන තැවි තැවි ඉන්නේ නැතිව අපිට නැගිටින්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි ජිවිතේ කියලා.ඒකනේ මගේ ඒ ලස්සන ආදරේ නැති වෙලත්, දැකපු හැම හීනයක්ම මගේ ඇස් මානයේ බොඳ වෙලා ගියත් මම තවම ජීවත් වෙන්නේ....

     නිමි.
 ............ ෴ ..........

ඔන්න මම කතාව නම් ඉවර කළා.හැබැයි ඔයාලට කියවන්න පුළුවන් වුනාද කියන්න නම් ද‍න්නේ නෑ.මොකද මම ලීවිමට අලුත් කෙනෙක් ඒක නිසා කතාවේ ගොඩක් අඩු පාඩුත් තියෙන්න ඇති.හැබැයි මම හිතනවා ඔයාලා මට ඒවා පෙන්වලා මට ලියන්න හයියක් දෙයි කියලා.මොනවා වුනත් අමාරුවෙන් හරි කියවපු ඔයාලට ගොඩක් ස්තුතියි..!!