Thursday, May 31, 2012

ඔයාට විතරමයි...!


ආදරය නොවේ නුඹ මගේ ජීවිතයයි
මා ජීවත් කරනා ප්‍රාණයයි
උසුලා ඉන්න බෑ හිත බරයි
මේ පිරුණු ආදරේ ඔයාටයි....ඔයාට විතරමයි

හිසු වු සිතෙහි ඉතිරිව ඇත්තේ ආදරයයි
කවුරුන් කෙසේ කීවත් සිත නාහයි
නුඹට වු ආදරේ පණමෙන් රකියි
මේ සිත සැමදා ඔයාටයි....ඔයාට විතරමයි

පෙරුමන් පුරන්නේ නුඹ තුරුලට එන්නයි
සිත යටින් මෝරණ ආදරයට ලෝබයි
වෙන්කරනට බෑ මා සිත නුඹටයි
මියදුනත් මා ඔයාටයි....ඔයාට විතරමයි


Tuesday, May 29, 2012

ජිවත් වෙමි මා නුඹේ නමින්...!


කලකින් දුටුව නුඹේ රූපය
සසල කළා මුළු ගතම
මොහොතින් මොහොත 
කඩා වැටෙන මා සිතම
හඩා වැටෙනවා තව තවත්
අසරණව සිහිවන විට මතක....

ඉවසන්න බෑ හිස රිදෙනවා
අවදිවු මතකය නිසා
අමතක කරනට බෑ තවමත් 
නුඹටම ආදරේ නිසා
විදවමි සැමදා තනිවම මා වේදනාව
බෙහෙතකින්වත් සුව නොවන නිසා....

ඉකිබින්දත් තනිව සිහිකරමින්
ඒ සොදුරු මතකයන්
ඉතිරි වන්නේ කදුළු පමණක්ම බව
මා දැන්නම් දනිමි හොදින්
නොලැබුනමුත් නුඹේ වන්නට මේ සසරෙහි
ජිවත් වෙමි මා නුඹේ නමින්....


Monday, May 28, 2012

නැතිවුනු පෙමක්...!

                          
නෙතින් ගිලිහිණු ඇහිපිල්ලමක් සේ
ආදරය හදින් ගිලිහුනේ
සසරින් සසර හමුවන්න‍ට
දිව්රුව නුඹේ හදින්මනේ

කඳුලක රසය නොදත් මා අද 
මෙතරම් හඩන්නේ
සෙනෙහසින් බැදි අප පෙම
සුළි කුණාටුවක් වු නිසානේ

අපි අපේම වී මියෙන්නට
පැතුව පැතුමන් සැඟවීනේ,
වියළුනු මේ කොළ අතරේ එය
සොයනට මා වෙර දරන්නේ

හමුවුවත් ඒ ආදර පැතුමන්
දැන් ඵලක් නොවන්නේ
මගේ අත වෙනුවට ඇගේ අත
නුඹ අරගෙන ගිය නිසානේ....


Saturday, May 26, 2012

ආදරේ නිසා...!

පුංචි කාලේ ඉඳන් අපි
හි‍ටියෙම හුඟක් ලංවෙලා
ගෙවෙන හැම මොහොතකම
ම‍ට ඔයාව ඕනා වුනා
මොනයම් හදිස්සියක් වුනත්
ඔයා නැතිව අඩියක්වත් ගියේ නෑ
කොච්චර ලස්සන අය දැක්කත්
හිත ඇදුනේ ඔයාට විතරමයි
ඔයාට ලංවෙන්න නම් මම
කාටවත්ම ඉඩක් තිබ්බේ නෑ
තාමත් මට හිතාගන්න බෑ
ඇයි මේ හිත ඔයාටම කැමති කියලා
ඔයා දිහා බලන අනිත් ඇස්වලින්
පරිස්සම් කලේ අමාරුවෙන් මම
මට පුළුවන් හැම වෙලාවෙම
මම ඔයාව ලඟින්ම තියා ගත්තා
මම ලොකුයි ඔයා පුංචි කියලා
අද‍ටත් කිසිම වෙනසක් නෑ
තවමත් එදා වගේම මම
ඔයාව ලඟින්ම තියාගෙන ඉන්නවා
ඒ මම ඔයාට ආදරේ නිසා
ආදර මගේ මිරිවැඩිසඟල....



Friday, May 25, 2012

මා නුඹේ නම්...!


ආදරයක් හද තලා පෙලා දමන තරම්
දන්නේ නෑ තවමත් නුඹ නම්
හද තුල සිතුවිලි තෙරපෙන තරම්
විඳවන්නේ නෑ නුඹ මා තරම්
වරදක් වුයේ මා අතින්නම්
දඬුවම් කරනු එපා ආදරයට නම්
රිඳුනු නුඹේ හද සුවවෙනකම්
කම් නෑ බනින්න නුඹට ඇතිවෙනකම්
විඳවන්නට බෑ තව මෙමට නම්
පවසන්නකෝ ආදරේ නොසඟවා
මියෙනතුරු මා නුඹේ නම්....


Thursday, May 24, 2012

එන්නකෝ මේ හිත අද්දරට...!


තත්පර, පැය, දවස් ගෙවෙනතෙක් සිටියේ
කථා කරන‍ට මා නුඹ එනතෙක්
දන්නවා නම් නුඹ මේ ජීවිතයේ
බලා හිදපුකල් මා නුඹ එනතෙක්....

අරුණලු නැගෙන හිමිදිරි උදයේ
අවදිවන්නේ නුඹේ සිහියෙන්
රෑ වී නින්දට වැටෙනුයේ
නුඹ හා ගෙවු මතකයෙන්....

සුළං පොදක් ඇඟ දැවටෙනුයේ
නුඹේ උණුසුම මවමින් වුවත් හද‍ට
හැමදාමත් දෑස අගින් දිස්වෙනුයේ
වැටෙන කඳුලකි නුඹ නැති වියෝවට....

නිහඬව හෙලපු මේ සුසුම් පොදියේ
බර වැඩිය දැන්නම් මෙම‍ට
අද දිනයවත් ඇති නම් නුඹේ මතකයේ
සනසවන්න‍වත් එන්නකෝ මේ හිත අද්දරට....


Tuesday, May 22, 2012

දිය වී යනවානම් නුඹේ මතකේ...!


කළුවර වු මහ රෑ යාමයේ
තනිකමයි අද ඉතිරිව ඇත්තේ
විඳවන්නට බෑ පාළුව මේ ජීවිතයේ
නුඹ පමණයි මතකයේ ඇත්තේ
නුඹ නොදැකපු මගේ සිහිනයේ
දඟකම් කළ නු‍ඹේ රූපේ
වෙනෙකෙකු හිමිකම් කියනුයේ
මගේ පෙර පවකටයි සිතේ
නෙතින් හැලෙන මේ කඳුළු කැටයේ 
අනේ දිය වී යනවානම් නුඹේ මතකේ....


Monday, May 21, 2012

ආදර ගිරවුන් යුවලකි...!


පුළුන් වැනි පා වෙන වළාවක වෙලි
තටු සලමින් ඉගිල ගියේ එකට
ආදරයට අර්ථයක් ගෙනෙන
පෙම් ලොවක් තිබුණි අප හමුව
අහස් කුසෙහි පායාගෙන ආ දේදුන්නක්
දැක මේ අප ආලවන්තකම 
පාටින් හැඩ කළා අපව 
හැඩ කරමින් අප හද ආදරය
දු‍ටුවන් මනමත් කරවන
පියකරු පෙනුමක් ගනි අපේ රූපය,
කෙනෙකු ලියයි පෙම් කවක්
මවමින් ආදර අන්දරය ගැන
තවකෙකු නයි අප රූපෙට 
ආදර යුවලක් ‍ලෙසින
නොයෙකුත් උපමා යොදන ආදරය‍ට
නොදැනිම උපමාවක් වුනා අපව
මේ සැම සිත් වසඟයට පත්කල
ආදර ගිරවුන් යුවලකි අප දෙදෙන....




Friday, May 18, 2012

දන්නවද රත්තරනේ...!


ආදරය කළා නම් ඔය සිතින් මෙමට
හඬවන්නට හැකි ද මා මෙතරම්
දෑස් රිදෙන තුරු බලා හිඳිනට
නුඹ මා අසරණ කළ තරම් 
දන්නවද රත්තරනේ 
අද නුඹ සිහිවෙන තරම්....

හද ලෙයින් නැහැවෙන තුරු හඬනට
දෑස අගට කඳුලු එන තරම්
කඳුලක් ලෙසින්වත් නුඹහට ගලා යන්නට
ඉඩදිය නොහැකිය මා සිතුවත් කෙතරම්
 දන්නවද රත්තරනේ 
ජීවත්ව මා මියෙන තරම්....

පෙරදා නුඹේ ආදරය සිහිවන විට
වාවගන්න බැරිව වැලලෙන්නට සිතෙන තරම්
නුඹේ සෙනෙහස අහිමි යැයි හැගෙන විට
මට මාවම එපාවෙන තරම්
දන්නවද රත්තරනේ 
කිසිත් නොවටී නුඹේ ආදරේ තරම්....


Saturday, May 12, 2012

ලංවහිඳින් නම්...!




එක්ව ගෙවු කාලය ගැන
නිමා කරනට බෑ ලිව්වත් කෙතරම්
වෙන්වුවත් අද අප ආදරය
තාමත් සුවඳයි ඒ මතකයන්
ගොළුව වියකුණු රිදුණු දෙතොලට
ගලන්නේ නම් සිනාවේ මලක්
ඒ මතකය තුල සැඟව ගලන
නුඹේ ආදරය නිසාවෙන්
අනේ මේ ජීවිතයේ දුක නිවාලන්න
නුඹ ආයෙත් එන්නේ නම්
සංසාරය ගෙවෙන තෙක්ම
ලංවහිඳින් නම් වෙන්නොවීම....



Friday, May 11, 2012

සිහිනයක් වු නුඹ...!


වෙසක් මහේ අසිරිය විඳින‍ට
නුඹ සමගින්ම එක්ව
පැතුම් මල් හද පත්ලෙහි
සිටියා විකසිත කරගෙන
අනේ නමුත් ඒ පැතුමන්
සීමා වුවත් සිහිනයකට
බුදුන් වැන්දෙත් මා
හදින් සිහිපත් කරමින්
නුඹ මනසෙහි රඳවාගෙන
දැහැමින් බෝ සමිඳු‍ට
මලක් පුදා නුඹ වෙනුවෙන්
පහනක් දැල්වුවෙත් එකම සිතින්
දකින්නට පතමින් නුඹේ රුව
බෝ මළුවෙහිවත් නොදුටුව නිසා
එකලස් කරනට නොහැකිව මසිත
පන්සලෙහි පිරුණු සෙනඟ අතරෙහි
දෑස වෙහෙසවමින් සෙව්වා නුඹව
නොදුටුව නිසා කොහෙවත් නුඹව
දුක සිතුනා මට මෙන් දෑසට
කඩා ඉහිරුණු පැතුමන් සමගින්
ආයෙමත් එන්න වුවත් අසරණකමට
තවමත් මා හිදින්නේ බොඳව ගිය
සිහිනයක් වු නුඹ ආදරයෙහිමය....


Thursday, May 10, 2012

නුඹ මගේ දිවියෙහි...!


පිටු පුරා ආදර වදන් ගැලපුව
පෙම් කවකි නුඹ මගේ දිවියෙහි
රතු පාටින් පිපි හිනැහෙන
රෝස මලකි නුඹ මගේ දිවියෙහි
මුව පුරා පිපාසය නිවන
දිය දෝතකි නුඹ මගේ දිවියෙහි
සීතලෙන් ඇඟ කීරී ගැසෙන 
මද පවනකි නුඹ මගේ දිවියෙහි
ජීවන කතරෙහි සෙනෙහෙ වඩන
ආදරයයි  නුඹ මගේ දිවියෙහි
අපි අපේම වී පතමු ආදරෙන් ඉන්න
සසරේ පතනා හැම භවයෙහි....


Wednesday, May 9, 2012

අප හමුවුණු ගංදෑල...!


අප හමුවුණු ගංදෑල
දකිනවි‍ට මගේ සිත‍ට
හමාඑන කුණාටු සීතල
ගල් කරනවා මුළු ගතම
හිඳගෙන මා නුඹ අසල 
කච කච ගා කිරිල්ලියකු ලෙස
මා මිමිණුව වදන්පෙල
එදා නුඹේ කනටකොට
සිහිකරවයි මේ දසුන්පෙල
දවමින් මා ආත්මයම
සිඹිමින් නුඹ මා අත්ල
පැවසුවත් ආදරේ වග
අද නුඹේ ඒ වදන්පෙල
පාවී ගිහින් මේ දියරැලිවල
විදිනට ඒ ආදරයේ සිසිල
යන්නම් මා අද ගංපත්ලට....



Friday, May 4, 2012

යන්න ගිහින් නුඹ දුරක...!

             
                            මතකද මල් ඉහිරුණු ලස්සන සුන්දර කාලයක් තිබුණා අපිට.ඒ ලස්සන දවස් සිහිවෙද්දිත් ඇත්තටම හිතට දැනෙන සතුට කියන්න නම් වචනත් නැති තරම්. ඒත් ඒ හැම සතුටක්ම නැති කරගෙන මේ හිත දුකින් පිරෙන්න නම් එක මොහොතක්වත් යන්නේ නෑ. ඒ එදා ඔයා අන්තිමට කියපු වචන ටික තප්පරෙන් තප්පරේ මේ හිත කඩලා බිදලා දාන නිසයි.

       "අනේ මට සමාවෙන්න වෙන කියන්න දෙයක්  නෑ............................ සතුටින් ඉන්න හැමදාම."

                                මට තේරෙන්නේ නෑ මෙහෙම එක පාරට කියන්න ඔයාට පුළුවන් වුනේ කොහොමද කියලාවත්. ඔයා දන්නවා ඔයාගේ මේ අහිංසක කෙල්ල ඔයා නැතිව එක මොහොතක්වත් හිටියේ නෑ කියලා. එහෙම කෙල්ලව මෙහෙම කියලා අසරණ කරලා දාන්න ඔය හිතට පුළුවන් වුනේ කොහොමද කියන්න. අනේ ඔයා දන්නවා මේ අහිංසකි ඔයා නැතිව හුස්මක්වත් ගත්තේ නෑ කියලා. ඔයා මේ අහිංසකි තනි කරපු දා ඉදන් මේ ඇස් දෙක මොනතරම් කඳුලු හැලුවද? මොනතරම් දුකක් හිතේ හිරකර‍ගෙන දුක් වින්දද? ඔයා විශ්වාස කරනවද අදටත් තවමත් ඔයාගේ මේ අහිංසකි මැරෙන්නේ නැති ටික විතරයි. ලෝකේට වහන් වෙලා මේ හිතින් මොන දුක් කන්දරාවක් උහුලනවද, ගෙවෙන හැම තප්පරයක් ගානෙම හිතන්නේ තව එක පාරක් හරි ඔයා කතා කරයි කියලා.

                              අනේ මේ හිත කොච්චර විදෙව්වත්, ජීවත් වෙන එක කොච්චර අමාරුවුනත් මැරෙන්න තරම්වත් වාසනාවක් නැහැ මේ ජීවිතේ. ඒක නිසයි මේ ගලන කඳුලුත් පුංචිම හයියක් කරගෙන හරි ජිවිතේ ගැටගහන්න හදන්නේ.මොකද මං වෙනුවෙන් අසරණව වටේට වෙලා බලන් ඉන්න අය වෙනුවෙන් ජීවත් වෙන්න ඕනා. නැත්තම් මේ අහිංසකීට පවු පිරෙයි. ඒත් හැම වෙලෙම මේ හිත පුරාම ඉන්නේ ඔයා විතරයි. ඔව්, මේ අහිංසකීගේ හිත පිරෙනකම් තියෙන්නේ ඔයාගේ ආදරේ විතරමයි. මතකද ඔයා මට කියනවා "මම නැතිවුන දවසකට ඔයාට මොනවා වෙයිද දන්නෑ" කියලා. ඒත් ඔයා එහෙම කියන හැම දවසකම මේ අහිංසකි කිවුවේ "නෑ මට මොනවත්ම වෙන්නේ නෑ, මොකද මට කවදත් ඔයාව නැතිවෙන්නේ නෑනේ" කියලා. පුංචි එකියක් වගේ හැමදාම ඔයාගේ ආදරේ ලඟ හුරතල් වුන මේ අහිංසකිගේ වචන ඔයාට අමතක වෙන්න විදිහක් නම් නෑ.

"කියන්න, මට වගේම මේ දුක ඔයාටත් දැනෙනවා නේද."

                          ඒත් මට තේරෙන් නෑ වචනයක්වත් කතා නොකර මේ අහිංසකීගෙන් ඈත්වෙලා ඔයා කොහොම ඉන්නවද කියලා. කමක් නෑ ඔයා සතුටින් නම් මේ අහිංසකී ජීවිතේ පුරාවටම හරි මේ දුක දරාගෙන ඉන්නම්. මට විශ්වාසයි කවදා හරි ඔයා මේ අහිංසකීගේ ආදරේ තේරුම් ගනිවී. ඔයා නැතිව මේ හිත දරන වේදනාව තේරුම් ගනිවී. මොන දේ වුනත් මේ හිත ආදරේ නම් ඔයාට විතරයි. සත්තයි එදා වගේම අදත් හෙටත් සංසාරය පුරාවටත් මේ අහිංසකි ආදරේ ඔයාටමයි. ඔයාට විතරමයි.


සිහිවන විට මතක
හැඩුවත් මා නිතර
යලි මතු දිනක
නොයෙන බව දනිමි නුඹ
දුකින් පෙලෙන හිතක
අරුමය ලියනට සිතා
පන්හිදෙන් පදවැලක
ගැලපුවා එහි මසිත
සිහියට නැගුනි අද වැනි දිනක
මා අතහැර නුඹ ගියවග
දරන්නට බෑ මේ දුක
තනිකමින් ඉකි ගසයි හිත
යන්න ගිහින් නුඹ දුරක
දෙමසකුත් වේ අද දිනය‍ට
තනිව මා ජිවිතයක
ආදරේ කරමි තවත් නුඹටම....

                           ......යන්න ගියත් නුඹ දුරක, බලා හිදිමි ආදරෙන් නුඹ එනතුරා......

                                                         ............  ෴ ..........

Thursday, May 3, 2012

අවසන් ගමනවත් ලඟ නෑ..!


ආදරේ කෙරුවෙත් නෑ නුඹ
නොකෙරුවෙත් නෑ
තිබුණද සෙනෙහසක් හදේ
එය පෙන්නුවෙත් නෑ
හිමිනැතිමුත් නුඹ මා හට
වෙන්වුනෙත් නෑ
එකවරක්වත් ආදරෙයි කියා නුඹ
මුවින් කීවෙත් නෑ
යන්න ගියත් නුඹ ඇයත් සමඟ
මා රැවටුවෙත් නෑ 
නවතා ගන්නට හැකිවුනා නම් නුඹ
මෙතරම් අසරණකමක් නෑ
වේදනාවෙන් හැඩුව තරමට දැන්
නෙතේ කඳුළුත් නෑ
කෙතරම් සිතුවත් අමතක කරනට නුඹ
අමතක වෙන්නෙත් නෑ
අනේ පෙරුමන් පුරන තරමට මා
අවසන් ගමනවත් ලඟ නෑ....
 

Wednesday, May 2, 2012

දුරස් වන්නට එපා ආදරයෙන්..!

 

නුඹ ගිය දා පටන් 
සැනසුමක් නෑ සිතට නම්
තෙත් වු දෑස් වියකුණු දෙතොල් 
තවත් පතන්නේ නුඹේ සෙනෙහස නම්
හිස් වු සිතත් විඩාබර වු ගතත්
සොයන්නේ නුඹේ පහසනම්
වාරුනැති දෙපා වෙව්ලන දෑගිලි
ලංවෙන්නට හදන්නේ නුඹේ ගතට නම්
පවසන්නකෝ කුමක් කරන්නද මා
අකීකරුයි නුඹ වගේම මගේ ආදරයත්
අනේ දුරකට ගියත් නුඹ
දුරස් වන්නට එපා ආදරයෙන් නම්....

ඒ සොඳුරු මතක...!


මතකද වැහි මන්දාරම් වී හිටිහැටියේ
ස‍ට සට ගා වැහිබිඳු වැටුනේ
යන්නට නොදි මා ගෙන තුරුලට 
වැස්සට අප තෙමුනේ
තෙමුනු වත සීතලෙන් ගැහෙන විට මාගේ
නුඹේ උණුහුමට තව තවත් ඇඳුනේ
ඒ සොඳුරු මතක සිහියට නැගෙද්දි
කියන්න මා කෙලෙසද හිදින්නේ
අකුණු සැරයක් වැදුණා මෙන් අප ආදරය 
මියදුණු නිසයි මා මේ වැලපෙන්නේ
අද මේ වැසි වැටෙන සීතල රාත්‍රීයේ
සිහිනෙන්වත් නුඹේ උණුසුම පතන්නේ....

Tuesday, May 1, 2012

ආදරේ දෝරේ ගලන හදවතක අරුමය...!

                                  මුලින්ම ඔයාව දැක්කාම කොහෙදෝ තියෙන ලෙන්ගතුකමකින් හද වෙලා ගත්තා. දැනුනේ කාලෙක ඉඳන් දන්න අඳුනන කෙනෙක් ගානටයි. ඒත් අපිටවත්  නොදැනි අපි ලංවුන හැටි, හොද යාලුවො වුන හැටි, ආදරේ කරපු හැටි අද මට විතරමයි මතක. ඒ හැමදේම අතීතයට එක්කරලා කිසිම දෙයක් මතක නැති හැටියට ඔයා දුරස්වෙලා ඉන්න විදිහෙන්ම මේවට සාක්ෂි දෙනවා. ඔයාට කියව ගන්න බැරිවුන මේ හද දැන් බොඳවේගන යනවා. ජීවිතය නිසොල්මන්ව ගමන් කරන හැටියට මට මං ගැනම දැන් දුක හිතෙනවා. ඒ මොන දේ වුනත් ඔයාට තියන ආදරේ නම් දවසින් දවස දළුලනවා අඩුවක් නම් වෙන්නේ නෑ එක මොහොතකටවත්. හද ගැහෙන වාරයක් වාරයක් ගානේ ඔයා විතරයි මතකෙට එන්නේ. ඒ හැම මොහොතකටම ඔයාගේ වචන සවන්පත් දෙවනත් කරනවා. කොච්චර දුරස් වෙන්න අමතක කරන්න හිතුවත් මගේ මතකයේ ඔයා ඇරෙන්න වෙන කිසිදෙයක් නෑ. මේ කළුවර යාමයේ තනිකම සීතලෙන් ගුලි කරන් නෙතු පියන්නට මා පොර බඳිනවා. අනේ ඒත් මේ අකීකරු දෑස නිදිවරාන ඔයාව දකින්න පොර බදිනවා.  ඔයා අයෙත් එන්නේ නෑ කියලා හිතුවත් කිවුවත් මේ හිත, දෑස් පිළිගන්නේ නෑ. දකින්න හිතන්න පතන්නේ ඔයා ගැනම විතරයි.


"කියන්න මම මොනවද කරන්න ඕනේ. මේ ජීවිතේට දරාගන්න බැරි දුකක් ලං කරලා ඈත්වුන ඔයාව දකින්න ආදරේ කරන්න මේ හිත පෙරුම් පුරන තරම අනේ ඔයා දන්නවනම්."


           සමහර විට මේ ජීවිතයේ කවදාවත්ම කොතනකවත් නොනැවතුන  මේ හද ඔයා ලඟින් නැවතුනේ මේ දුක විදින්නම වෙන්න ඇති. ඒත් කමක් නෑ ඔයා වෙනුවෙන් මේ පුංචි හදින් දුක විතරක් නෙමේ ඕනම දෙයක් දරාගෙන විඳගෙන ඉන්නම්. සත්තයි කවදාවත්ම ඔයා ගැන තරහක් ගන්නේ නෑ මේ හිත ඒ තරමටම ඔයාට ආදරෙයි. වචන වලින් කියලා නිම කරන්න බැරි තරමට ආදරෙයි. වෙලාවකට ආදරෙයි ආදරෙයි කියලා මේ මුළු ලෝකෙම දෙදරන්න කෑ ගහලා කියන්න හිතෙනවා. ඒත් ඒ එක වචනයක්වත් ඔයාට ඇහෙන්නේ නැත්නම් මගේ ආදරේ නිකම්ම වචනයක් වෙයි. නමුත් මේ ආදරේ ඔයාට අද නොදැනුනාට කවදමහරි දැනෙන දවසක් ඒවී. එදාට සමහර විට ඔයා ගොඩක් පරක්කු වැඩි වෙයි. ඒ  මොනව වුනත් මේ ආදරේ ඔයාට දැනෙන දවස එනකම් මම බලන් ඉන්නවා. ඒ ඔයාට දුකක් දෙන්න නෙවෙයි. මේ පුංචි හිත ඔයාට කොච්චර ආදරේ කලාද කියලා ඔයාගේ ඔය හිතට දැනෙන්න දෙන්න  ඕන නිසයි. මොනවා හිතුවත්, පැතුවත් ඔයාගේ සතුට තරම් වටින දෙයක් නම් මේ පුංචි හිතට තවත් ඇත්තෙම නෑ. ඔයාගේ ඒ සතුට වෙනුවෙන් මේ  ලෝකෙම තියෙන හැම දුක් කන්දරාවක්ම වුනත් මේ පුංචි හිතින් උහුලගෙන ඉන්නම්. ඒ ඔයා මගෙ ජීවිතේ නෙවෙයි මගෙ මුළු ආත්මයම නිසයි.


" කියන්න ඔයාට දැනෙනවද මේ පුංචි හිතේ ආදරේ. කල්ප ගානක් තිස්සේ ඔය ආදරේ ලබන්න පෙරුම් පුරන මේ පුංචි හිතේ ආදරේ දැනෙනවද කියන්න. "


            හැම භවයෙහිම වගෙ මේ භවයෙත් මට ඔය ආදරේ අහිමි වුනා. ඒ මගෙ අකුසල තාම ඉවර නැති නිසා වෙන්න  ඇති. ඒත් මේ භවයෙදි ඒ හැම අකුසලයක්ම ඉවර කරගෙන ඊලග භවයෙහිවත් ඔයාගෙම වෙලා ඔය ආදරේ ලබන්න මම පෙරුම් පුරනවා. මේ මුළු ලෝකෙම ලැබුණත් ඔය ආදරේ තරම් නම් ඒ කිසිම දෙයක් වටින්නෑ. සත්තයි මේ පුංචි හිත ඔය ආදරේට මහ හුගක් ලෝභයි.


නිමා වුවත් මේ ජීවිතේ
නිමා නොවේ මේ ආදරේ
සෙනෙහෙ පිරුණු අතීතයේ
සක්මන් කරයි මේ පපු කුහරේ
අසරණයි කියා නුඹ
තනි කලත් මා දිවි කතරේ
විදෙව්වත් මා ඒ වේදනාවන්
තරහක් නෑ නුඹ කෙරේ
නැවතුනත් මේ හද ගැස්ම
නුඹටයි රත්තරනේ ආදරේ...

            ඇත්තටම ඔයාව මතක්වෙන ගොඩක් වෙලාවට අමතක කරන්න හිතුවේ ආදරේ නැති නිසා නෙමෙයි. මට ජීවත් වෙන්න ඕන නිසා. මොකද ඔයාව මතක් වෙන හැම වෙලාවකම නෙතින් කඳුලක් නොවැටුනත් හද තැවෙන තරමට මට මාවම එපාවුනා. නමුත් දන්නවද හැමදාම ඔයාව අමතක කරන එක මට හීනයක් වගේ.
මේ දුක, වේදනාව, පාළුව දරා ගන්න හයියක් නම් නෑ තවත් මට. පුළුවන් හැම වෙලාවටම කාටත් නොපෙනෙන්න කඳුලු හලන්න මේ නෙත් දෙකට ඉඩ හරිනවා. මේ නෙත්වලට දරාගන්න බැරි තරමට කඳුලු හලනවා. ඔයාව අමතක කරන්න බැරි නිසා ඒ ලස්සන දවස් ගැන හිතලා සතුටු වෙන්න හිතනවා ඒත් ආයෙම කවදාවත් ඔයාව දකින්න වෙන එකක් නෑ කියලා හිතෙනකොට නම් මැරෙන්න තරම් හිතෙනවා.  මේ පුංචි කාලෙට දරන්න බැරි මහ හුගක් දුක් කන්දරාවක් මම ඉහිලුවා. තව දුරටත් මේ හැමදේම දරාගෙන ඉන්න පුළුවන් තරමේ ශක්තියක් මට තියේවිද කියන්න දන්නේ නෑ. ගොඩක් සතුටින් හිටපු මේ පුංචි හිත අද ඔයා නිසා දුක් කන්දරාවක් හිතේ තද කරන් ඉන්නවා.

"අනේ ඒත් මම පවු කියලවත් ඔයාට දැනෙන්නේ නැති හැටියක්. ඵක මොහොතකට හරි මේ හිත සනසවන්න ඔයාට පුළුවන් වුනානම්."

      කමක් නෑ  ඔයා කොහොමවුනත් මේ හිත හැමදාම ඔයාට ආදරේ කලා කියලා විතරක් මතක තියා ගන්න. ආදරේ වෙනුවෙන් තැවෙන මේ හිත හදන්න ඔයා ආයෙත් එන එකක් නෑ සමහර විට ඒත් මම පතන්නේ නෙතු පියවෙන්න කලින් එක් වරක් ඔය සුදු මුණ දකින්න ලැබන්න කියලා විතරයි. ඒ මගේ අවසන් පැතුමයි. මේ පුංචි හිත ඒ තරමටම ඔයාට  ආදරෙයි. අනේ දවසක  මේ ඇත්ත ඔයා තේරුම් ගන්න.  මේ ආදරේ තේරුම් ගන්න.
සත්තමයි  ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි මේ පුංචි හිත මහ හුගක් ඔයාට  ආදරෙයි.


ලොකු හිතක් තිබුනේ නම් නෑ මෙමට
නුමුදු ඒ පුංචි හිතටත් වඩා ලොකු
ආදරයක් තිබුණා නුඹහට
මටත් වඩා වටින දෙයක් නුඹට
ඇති නිසා වෙන්නැති නුඹහට අද
වෙන්ව යන්නේ මගෙන් ඈතට
පෙරමෙන් ආදරය කල කාලයක් හදට
නොවුනමුත් අපහට මින්මතු
ඉතිරිවු මතකය ඇති මෙමට
කම් නෑ රත්තරනේ අද නුඹ ගියාට
නෙතු පියවෙන්න පෙර ඵකවරක්වත්
ඇවිත් ගන්න මා නුඹ තුරුලට....

                                   ආදරේ දෝරේ ගලන හදවතක අරුමය මෙයයි...........

                                              ............  ෴ ..........